ඇමෙරිකානු නාවික හමුදාවේ ‘USS Canberra’ යුද නෞකාව මේ වසරේ දෙවැනි වරටත් කොළඹ වරායට

ඇමෙරිකානු නාවික හමුදාවට අයත් USS Canberra (LCS 30) යුද නෞකාව සාමාන්‍ය වරාය සංචාරයක් සඳහා අද (26) කොළඹ වරායට පැමිණ තිබේ. මෙම වසරේදී එම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණි දෙවැනි අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, Independence ප්‍රභේදයට අයත් මෙම වෙරළබඩ සටන් නෞකාව මීට පෙර 2026 ජුනි මාසයේදී ද කොළඹ වරායට පැමිණ තිබිණි.

මෙම සංචාරයෙන් ඇමෙරිකානු සහ ශ්‍රී ලංකා නාවික හමුදා අතර දිගුකාලීන හවුල්කාරිත්වය මෙන්ම ඉන්දු-පැසිෆික් කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා දෙරට දරන පොදු කැපවීම ද පිළිබිඹු වන බව තානාපති කාර්යාලය සඳහන් කරයි.

මෙම සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති එරික් මේයර් මහතා ශ්‍රී ලංකා නාවික හමුදාව ලබාදෙන සහාය අගය කර තිබේ.

“මෙම සංචාරයන් සුමටව හා කාර්යක්ෂමව සිදු කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව දක්වන වෘත්තීයභාවය සහ සහාය අපි අගය කරනවා. සෑම සංචාරයකින්ම විශ්වාසය මත ගොඩනැගුණු අපගේ නාවික හවුල්කාරිත්වයේ ශක්තියත්, ඉන්දියන් සාගරය පුරා ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට අප තුළ ඇති පොදු කැපවීමත් තවදුරටත් තහවුරු වෙනවා,” යනුවෙන් ඔහු පවසා ඇත.

USS Canberra නෞකාව ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ මොබයිල් නගරයේදී ඉදිකර ඇති Independence ප්‍රභේදයේ වෙරළබඩ සටන් නෞකාවකි. වෙරළබඩ මුහුදු ප්‍රදේශවල මෙන්ම විවෘත සාගරයේ ද මෙහෙයුම් සිදු කිරීම සඳහා එය සැලසුම් කර තිබේ.

නවීන තාක්ෂණයෙන් සහ විවිධ මෙහෙයුම් සඳහා අනුවර්තනය කළ හැකි පද්ධතිවලින් සමන්විත මෙම නෞකාවට සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සිදු කිරීම, මුහුදේ ඇති බිම්බෝම්බවලට එරෙහිව ක්‍රියා කිරීම සහ ඉන්දු-පැසිෆික් කලාපයේ ඇමෙරිකානු නාවික මෙහෙයුම් සඳහා සහාය වීමේ හැකියාව පවතී.

දෙවැනි ලෝක යුද්ධ සමයේ 1942 වසරේ Savo Island සටනේදී ඇමෙරිකානු හමුදා සමඟ එක්ව සටන් කරමින් විනාශයට පත් වූ ඕස්ට්‍රේලියානු යුද නෞකාවක් වන HMAS Canberra සිහිපත් කිරීම සඳහා මෙම නෞකාවට Canberra යන නම ලබා දී තිබේ.

2023 ජූලි 22 වැනිදා ද USS Canberra නෞකාව ඉතිහාසයට එක්විය. ඒ, සිඩ්නි නුවර පිහිටි ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවේ Fleet Base East කඳවුරේ පැවති උත්සවයකදී මිත්‍ර රටකදී නිල වශයෙන් සේවයට එක් කළ පළමු ඇමෙරිකානු නාවික හමුදා යුද නෞකාව බවට පත්වීමෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *