Wednesday, 4 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

වැටුප් සහ දීමනා කප්පාදුවට එරෙහිව GMOA සටනට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

වැටුප් සහ දීමනා කප්පාදුව, උග්‍ර වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟය මෙන්ම මර්දනකාරී නීතිරීති හඳුන්වා දීමට එරෙහිව ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා ප්‍රධාන රෝහල් ඉදිරිපිට දැවැන්ත විරෝධතා මාලාවක් පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල මුහුණ දෙන නොවිසඳුණු ගැටලු සහ මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව මුහුණ දී ඇති බරපතළ බිඳවැටීම පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුකිරීම මෙම විරෝධතාවල මූලික අරමුණ බවයි.

පසුගිය ආර්ථික අර්බුද සමයේදී අතිරේක රාජකාරි සහ නිවාඩු දින දීමනාවලින් තුනෙන් එකක් (1/3) කැපකිරීමට පවා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පියවර ගත් බව සිහිපත් කරන සංගමය, රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව රජය ප්‍රකාශ කළද සෞඛ්‍ය සේවකයින්ගේ දුක්ගැනවිලි විසඳීමට කිසිදු සාධනීය පියවරක් ගෙන නොමැති බවට චෝදනා කරයි.

ජනපති සහ අගමැති සමඟ සාකච්ඡා ඉල්ලයි

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ ඉදිරි 2027 අයවැය සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවීමට අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කළද, ඊට මෙතෙක් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද GMOA සංගමය පවසයි.

ඒ අනුව, කප්පාදු කරන ලද සියලු දීමනා යළි ලබාදීම, සාධාරණ වැටුපක් ලබාදීම, වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩල කඩිනමින් බඳවා ගැනීම, බාධාවකින් තොරව රෝහල්වලට ඖෂධ සැපයීම සහ රෝහල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙම විරෝධතාවල ප්‍රධාන ඉල්ලීම් වේ.

නිදහස් සෞඛ්‍ය සේවාව රැකගැනීම සඳහා රජය සමඟ ඵලදායී සාකච්ඡාවකට එළඹ ගැටලුවලට කඩිනම් ප්‍රායෝගික විසඳුම් ලබාගැනීම උදෙසා රජයට බලපෑම් කිරීම මෙම විරෝධතාවල අපේක්ෂාව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබේ අදහස