සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ නොකරන ලෙස බිරිඳ ජනපතිගෙන් ඉල්ලයි

හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේගේ බිරිඳ ඔහුගේ රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් නැවතත් ඉල්ලීමක් කර තිබේ.

අගෝස්තු 20 වැනිදා යොමු කළ ලිපියකින් එස්.බී.එම්.එස්.බී. සලේ ඉල්ලා ඇත්තේ, සිය සැමියාට විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර අඛණ්ඩව ලබාදෙමින් අධිකරණ අධීක්ෂණය යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගන්නා ලෙසයි.

සිය සැමියා රඳවා සිටින කාලය තුළ, විශේෂයෙන් උපවාසයක නිරත වීමෙන් අනතුරුව, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස පිරිහුණු බව ඇය සඳහන් කර ඇත. ජුනි 7 වැනිදා ඔහු ශ්‍රී ලංකා ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ජුනි 27 වැනිදා හෘද රෝග ඒකකයට මාරු කර තිබේ.

අඛණ්ඩව පැවති හෘද රෝග තත්ත්වය හේතුවෙන් පසුව ඔහුට Implantable Cardioverter-Defibrillator (ICD) උපකරණයක් සවි කිරීමේ හෘද ප්‍රතිකාරයක් සිදුකර ඇති බවද ඇය සඳහන් කළාය.

එම ක්‍රියාපටිපාටියෙන් පසුව සමීප සහ විශේෂඥ වෛද්‍ය අධීක්ෂණයක් අවශ්‍ය බව පෙන්වා දෙන ඇය, ජාතික රෝහලෙන් ඔහු ඉවත් කර නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට පත් කිරීම ඔහුගේ ජීවිතයට බරපතළ අවදානමක් ඇති කළ හැකි බවට අනතුරු අඟවා තිබේ.

ඒ අනුව, වත්මන් රැඳවුම් නියෝගය කල් ඉකුත් වීමට ඉඩ ලබාදී, සුරේෂ් සලේ රක්ෂිත බන්ධනාගාරගත කරමින් ඔහුගේ රඳවා තබා ගැනීම සහ සිදුකෙරෙන විමර්ශන අධිකරණ අධීක්ෂණය යටතට පත් කරන ලෙස ඇය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

විමර්ශනවලට බාධා කිරීමට හෝ මැදිහත් වීමට සුරේෂ් සලේ හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන් කිසිදු අදහසක් නොමැති බවත්, අදාළ බලධාරීන් සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවත් ඇය අවධාරණය කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට යෝජිත රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත හඳුන්වාදීම පිළිබඳ රජයේ අවධානයද ලිපියේ සඳහන් කර ඇති අතර, වත්මන් සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන PTA යටතේ රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම අනවශ්‍ය බවද ඇය පෙන්වා දී ඇත.

සුරේෂ් සලේට අඛණ්ඩ විශේෂඥ හෘද ප්‍රතිකාර සහ ශල්‍යකර්මයෙන් පසු අවශ්‍ය සත්කාර ලබාදීම සහ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් පිරිහීමට හෝ ජීවිතයට අවදානමක් ඇති කිරීමට ඉඩ සලසන කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසද ඇය ඉල්ලා තිබේ.

ඇය මෙම ඉල්ලීම හඳුන්වා ඇත්තේ මානුෂීයත්වය, යුක්තිය, සාධාරණත්වය සහ ජීවිතය ආරක්ෂා කිරීම වෙනුවෙන් සිදුකරන හදිසි ඉල්ලීමක් ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *