Wednesday, 4 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

‘83 කළු ජූලිය’ විමර්ශනයට පාර්ලිමේන්තු කාරක සභාවක්?

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

1983 වසරේ සිදුවූ ඛේදනීය ‘කළු ජූලි’ ප්‍රචණ්ඩ ක්‍රියා සහ එහි සමස්ත බලපෑම පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් (Parliamentary Select Committee) පත්කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුව වෙත විශේෂ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර, එම පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රී භාග්‍ය ශ්‍රී හේරත් මහතා විසින් එය ස්ථිර කර ඇත.

අදාළ යෝජනාවට අනුව, 1983 කළු ජූලි සමයේ සිදුවූ ඛේදනීය සිදුවීම් පිළිබඳව ගැඹුරු හා විධිමත් අධ්‍යයනයක් සිදුකර ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් සකස් කිරීම මෙම යෝජිත කාරක සභාව වෙත පැවරෙන ප්‍රධාන වගකීමකි.

ජාතික සංහිඳියාව සහ වන්දි නිර්දේශ

මීට අමතරව, රට තුළ සැබෑ ජාතික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සහ එම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් විපතට හා පීඩාවට පත් පුද්ගලයින්ට මෙන්ම ප්‍රජාවන්ට සාධාරණ සහන හා වන්දි සැලසීම පිළිබඳව පාර්ලිමේන්තුව වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමද මෙම කාරක සභාවේ කාර්යභාරයට ඇතුළත් වේ.

කළු ජූලි ඛේදවාචකයෙන් මෙරට සමාජ දේහයට සිදුවූ ඓතිහාසික හානිය මැනවින් විමසා බලා, අනාගතයේදී එවැනි තත්ත්වයන් යළි ඇතිවීම වළක්වා ගනිමින් ජාතික සමගිය ශක්තිමත් කිරීම සහ පීඩාවට පත් පාර්ශ්වයන්ගේ දුක්ගැනවිලි නිරාකරණය කිරීම මෙම මුලපිරීමේ මූලික අරමුණයි.

ඔබේ අදහස