ශ්‍රී ලංකාවේ සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනායක හිමියන් පවසන්නේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය යෝජනා කර ඇති කරුණ සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.
මහනුවරදී මානව හිමිකම් සංවිධානයක නියෝජිතයන් පිරිසක් සමඟ පැවති හමුවකදී අදහස් දක්වමින් මහනායක හිමියෝ පැවසුවේ අතීතයේ සිටම ජාතික වැදගත්කමක් ඇති කරුණු සම්බන්ධයෙන් මහා සංඝරත්නය විසින් පාලකයන්ට වාචිකව මෙන්ම ලිඛිතවද උපදෙස් ලබා දී ඇති බවයි.
“අතීතයේ වෙනත් අවස්ථාවලදී ලිපිය ලැබුණු බව තහවුරු කරමින් පිළිතුරක් එවා තිබෙනවා. නමුත් මෙම කරුණ සම්බන්ධයෙන් මේ වන විටත් අපට කිසිදු පිළිතුරක් ලැබී නැහැ. අප යැවූ ලිපිය ලැබුණාද යන්නවත් අපට දැනුම් දී නැහැ,” යනුවෙන් උන්වහන්සේ පැවසූහ.
එම හමුවේදී අදහස් දැක්වූ එම සංවිධානයේ විධායක අධ්යක්ෂ සුභාෂණ සුබ්බාවික්රම මහතා පැවසුවේ බොහෝ රටවල විනිසුරුවරුන්ගේ සේවා කාලය වයස අවුරුදු 60 ඉක්මවාද පවතින බැවින්, ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැටලුවක් නොවන බවයි.


