ශ්රී ලංකාවේ වාර්ෂික මත්ස්ය නිෂ්පාදනයෙන් සියයට 40කට ආසන්න ප්රමාණයක් අස්වනු නෙළීමෙන් පසු සිදුවන නාස්තිය හේතුවෙන් අහිමි වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ.
ජනාධිපති මාධ්ය අංශය සඳහන් කළේ, ශ්රී ලංකාවේ වාර්ෂික මත්ස්ය නිෂ්පාදනය මෙට්රික් ටොන් 400,000ක් පමණ වන අතර, ඉන් සැලකිය යුතු ප්රමාණයක් අස්වනු නෙළීමෙන් පසු නාස්ති වන බවයි.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්යාංශයේ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීමේදී මෙම ගැටලුව කෙරෙහි අවධානය යොමු වී තිබේ. මත්ස්ය නාස්තිය අවම කිරීම සහ ධීවර ක්ෂේත්රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ගත යුතු පියවර පිළිබඳව ද එහිදී සාකච්ඡා කර ඇත.
ධීවර කර්මාන්තය වාණිජමය වශයෙන් ලාභදායී ක්ෂේත්රයක් බවට පත් කිරීම සඳහා පුළුල් සැලසුම් සකස් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. එමෙන්ම, මත්ස්ය නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ධීවර ප්රජාවගේ ආදායම් වැඩි කිරීම කෙරෙහි ද අවධානය යොමු කර ඇත.
ජනතාවට සාධාරණ හා දැරිය හැකි මිලකට මත්ස්ය නිෂ්පාදන ලබාගැනීමට අවස්ථාව සැලසීමේ ක්රමවේද පිළිබඳව ද සාකච්ඡා වී තිබේ. එය ජීවන වියදම අඩු කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළේ කොටසක් ලෙස සැලකේ.
ලංකා ධීවර සංස්ථාවේ සහ පෑලියගොඩ මධ්යම මත්ස්ය වෙළෙඳ සංකීර්ණයේ මෙහෙයුම් කටයුතු, දැනට පවතින ගැටලු සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්යතාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර ඇත.
ගැඹුරු මුහුදේ ධීවර කටයුතු ශක්තිමත් කිරීම සඳහා නවීන ධීවර යාත්රා හඳුන්වාදීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. ධීවර කර්මාන්තයට පෞද්ගලික අංශයේ ආයෝජන ආකර්ෂණය කරගැනීමේ හැකියාව පිළිබඳව ද නිලධාරීන් සාකච්ඡා කර ඇත.
මේ අතර, ධීවර කර්මාන්තයට ආවේණික වූ අභියෝග සැලකිල්ලට ගනිමින් එම ක්ෂේත්රයට ගැළපෙන ණය යෝජනා ක්රම සකස් කරන ලෙස ජනාධිපතිවරයා මුදල් අමාත්යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
තිරසාර වෙරළබඩ යටිතල පහසුකම් සංවර්ධනය, පරිසර හිතකාමී වරාය ව්යාපෘති සහ ශ්රී ලංකාවේ ජලජීවී වගාව පුළුල් කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව ද සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇත.


