Wednesday, 4 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

සුළි කුණාටුවෙන් කැඩුණු පාරවල් හදන්න කෝටි 333ක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

‘ඩිට්වා’ (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් දැඩි හානියට පත් මාර්ග යටිතල පහසුකම් කඩිනමින් ප්‍රතිසංස්කරණය කර සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 3.33ක (රුපියල් කෝටි 333කට අධික) වටිනාකමකින් යුත් ප්‍රධාන කොන්ත්‍රාත්තු තුනක් (03) පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ කැඳවන ලද ලංසු ඇගයීමෙන් අනතුරුව, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව අවම සාරභූත ප්‍රතිචාරාත්මක ලංසුකරුවන් වෙත මෙම කොන්ත්‍රාත්තු පිරිනැමීමට තීරණය විය.

අනුමත වූ මාර්ග ව්‍යාපෘති ත්‍රිත්වය:

  1. ගම්පොළ – නාවලපිටිය සහ උලපනේ – පුස්සැල්ලාව මාර්ග: ගම්පොළ–නාවලපිටිය (B013) මාර්ගයේ කිලෝමීටර් 8+500 සිට 16+300 දක්වා කොටස සහ උලපනේ–පුස්සැල්ලාව (B431) මාර්ගයේ කිලෝමීටර් 0+000 සිට 6+440 දක්වා කොටස සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 852.83ක කොන්ත්‍රාත්තුව M/s ELS Construction (Pvt) Ltd සමාගම වෙත පිරිනමා ඇත. මෙහි කොන්ත්‍රාත්තු කාලය මාස හතරකි.

  2. B461 මාර්ගය: B461 මාර්ගයේ කිලෝමීටර් 11+000 සිට 27+700 දක්වා වූ කිලෝමීටර් 16.77ක කොටස ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම, කිලෝමීටර් 27+700 සිට 30+800 දක්වා කොටසේ කානු පද්ධති හා ආධාරක බැමි ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 1,516.08ක කොන්ත්‍රාත්තුව M/s Jayasinghe Contractors (Pvt) Ltd සමාගම වෙත පිරිනමා තිබේ. මෙහි කොන්ත්‍රාත්තු කාලය මාස දෙකකි.

  3. කටුගස්තොට – මඩවල – බඹරැල්ල සහ වත්තේගම මාර්ග: කටුගස්තොට–මඩවල–බඹරැල්ල (B205) මාර්ගයේ 19 වැනි කිලෝමීටරයේ සිට 34 වැනි කිලෝමීටරය දක්වා වූ කිලෝමීටර් 15ක කොටස සංවර්ධනය කිරීම සහ වත්තේගම–කන්දෙනුවර–වාරියපොළ මාර්ගයේ නායයෑම් සහ බැවුම් කඩාවැටීම්වලට ලක්වූ කිලෝමීටර් 4ක කොටස ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 965.37ක කොන්ත්‍රාත්තුව M/s RR Construction (Pvt) Ltd සමාගම වෙත පිරිනමා ඇත. මෙහි කොන්ත්‍රාත්තු කාලය මාස තුනකි.

එකතු කළ අගය මත බද්ද (VAT) රහිතව මෙම සමස්ත කොන්ත්‍රාත්තු ත්‍රිත්වයේ එකතුව රුපියල් මිලියන 3,334.28ක් වේ.

ඔබේ අදහස