UK වීසා නීතිය උඩුයටිකුරු වෙයි: PR ගන්න වසර 10ක්

ලබාගැනීම සඳහා මෙතෙක් පැවති වසර පහක (05) සුදුසුකම් කාලසීමාව වසර දහයක් (10) දක්වා දීර්ඝ කරමින්, එරට සංක්‍රමණික නීතිවල දැවැන්ත ප්‍රතිසංස්කරණ මාලාවක් බ්‍රිතාන්‍ය රජය විසින් නිවේදනය කර තිබේ.
බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම් (Home Secretary) ශබානා මහමුද් (Shabana Mahmood) මහත්මිය විසින් පසුගිය සඳුදා (02) පාර්ලිමේන්තුව හමුවේ ‘උපයාගත් ස්ථිර පදිංචිය’ (Earned Settlement) නමැති මෙම නව ප්‍රතිපත්තිය එළිදක්වන ලදී.
ඒ අනුව ඉදිරියේදී ස්ථිර පදිංචිය තීරණය වන්නේ හුදෙක් බ්‍රිතාන්‍යය තුළ වසර පහක් ජීවත්වීම මත පමණක් නොව, පුද්ගලයාගේ වාර්ෂික ආදායම, රැකියාවේ ස්වභාවය, ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව, සංක්‍රමණික නීතිවලට අනුකූල වීම සහ එරට ආර්ථිකයට දක්වන සක්‍රීය දායකත්වය මත පදනම්වය. 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම නව සංශෝධන හේතුවෙන් දැනට එංගලන්තයේ ජීවත්වන සහ රැකියාවල නියුතු, මෙතෙක් ස්ථිර පදිංචිය ලබා නොමැති ශ්‍රී ලාංකිකයින් රැසකටද සෘජු බලපෑම් එල්ල වනු ඇත.
නව ප්‍රතිපත්තිය යටතේ PR ලැබෙන කාලසීමාවන්:
වසර 10ක් (සම්මත කාලය): වාර්ෂික ආදායම පවුම් 50,000ට අඩු බහුතරයක් විදේශීය සේවකයින් සහ සංක්‍රමණිකයින් සඳහා.
වසර 05ක්: වාර්ෂිකව පවුම් 50,000ට වැඩි ඉහළ වැටුප් ලබන්නන් මෙන්ම වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ ගුරුවරුන් ඇතුළු සුදුසුකම් ලත් රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා.
වසර 03ක්: වාර්ෂිකව පවුම් 125,000 ඉක්මවූ අතිවිශාල ආදායම් ලබන්නන් සහ විශේෂිත ඉහළ දක්ෂතා සහිත කුසලතා වීසා (High-skilled talent schemes) හරහා පැමිණි අය සඳහා.
වසර 20 සිට 30 දක්වා: අනවසරයෙන් සහ කුඩා බෝට්ටු මඟින් නීතිවිරෝධීව බ්‍රිතාන්‍යයට ඇතුළු වූ සරණාගතයින් සඳහා වසර 30ක් දක්වාද, අනුමත නොකළ මාර්ගවලින් පැමිණි හෝ සංක්‍රමණික නීති උල්ලංඝනය කළ පුද්ගලයින් සඳහා වසර 20ක් දක්වාද මෙම කාලය දීර්ඝ වේ.
සාත්තු සේවකයන්ට (Care Workers) සහන
2025 මැයි මාසයේ සංක්‍රමණික ධවල පත්‍රිකාව නිකුත් කිරීමට පෙර බ්‍රිතාන්‍යයට ඇතුළු වූ සාත්තු සේවකයන් (Care workers) සඳහා විශේෂ සංක්‍රාන්ති සහන සැලසීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව, සමාජ සත්කාරක ක්ෂේත්රය තුළ වාර්ෂිකව අවම වශයෙන් පවුම් 25,000ක ආදායමක් ලබමින් වීසා කොන්දේසි නිසි පරිදි සපුරා ඇති සාත්තු සේවකයින්ට පෙර පැවති වසර 5ක කාලය තුළදීම ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමේ අවස්ථාව හිමිවේ. එම කොන්දේසි සම්පූර්ණ කිරීමට අපොහොසත් වූ අයට තවත් වසර 5ක රැකියා වීසා කාලයක් ලබාගැනීමට අවස්ථාව සැලසේ.
දැඩි කෙරෙන මූලික කොන්දේසි 4ක්
නව නීති යටතේ ස්ථිර පදිංචිය ඉල්ලුම් කිරීමේදී අනිවාර්යයෙන්ම සපුරාලිය යුතු ප්‍රධාන කොන්දේසි හතරක් හඳුන්වා දී ඇත:
කිසිදු අපරාධ වාර්තාවක් නොමැති වීම.
උසස් පෙළ (A-Level) මට්ටමට සමාන ඉහළ ඉංග්‍රීසි භාෂා ප්රවීණතාවක් පෙන්නුම් කිරීම.
බ්‍රිතාන්‍ය රජයට හෝ බදු ක්‍රමයට කිසිදු හිඟ ණය මුදලක් නොපැවතීම.
අවම වශයෙන් වසර තුනක් අඛණ්ඩව ජාතික රක්ෂණ (National Insurance) දායකත්ව මුදල් ගෙවා තිබීම.
මීට අමතරව, රජයේ සුබසාධන සහනාධාර (Welfare benefits) ලබාගෙන ඇති පුද්ගලයින් ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට පෙර, අවම වශයෙන් අඛණ්ඩව වසර පහක් කිසිදු රජයේ ආධාරයක් මත යැපෙන්නේ නැතිව ජීවත් වූ බවට ඔප්පු කළ යුතුය.
ලක්ෂ පහකට වැඩි පිරිසකට බලපෑම්; ලාංකිකයින්ට වන බලපෑම කුමක්ද?
මෙම නව ප්‍රතිසංස්කරණ හේතුවෙන් බ්‍රිතාන්‍යයේ වෙසෙන සංක්‍රමණිකයින් 500,000කට (ලක්ෂ පහකට) අධික පිරිසකට ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා වසර 5කට වඩා වැඩි කාලයක් බලා සිටීමට සිදුවනු ඇතැයි හෝම් ඔෆිස් (Home Office) ආයතනය ගණන් බලා ඇත. කෙසේවෙතත්, කාලසීමාව දීර්ඝ වූ පමණින් කිසිවෙකුට රටින් පිටවීමට සිදු නොවන බවත්, සුදුසුකම් සපුරන තෙක් සිය තාවකාලික වීසා බලපත්‍ර අලුත් කරගැනීමට අවස්ථාව පවතින බවත් රජය තහවුරු කරයි. දැනටමත් ස්ථිර පදිංචිය (ILR) ලබා ඇති පුද්ගලයින්ගේ තත්ත්වයට මෙයින් කිසිදු හානියක් සිදු නොවේ.
එක්සත් රාජධානියේ අධ්‍යාපනය ලබන, රැකියාවල නිරත වන සහ ඉදිරි වසරවලදී ස්ථිර පදිංචිය ලබාගැනීමට සැලසුම් කර සිටින ශ්‍රී ලාංකික සිසුන්, හෙද හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල, වෘත්තිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙමඟින් දැඩි බලපෑමක් එල්ල වනු ඇත.
මෙම නව නීති රෙගුලාසි 2027 වසරේදී සම්පූර්ණයෙන්ම බලාත්මක වන තුරු දැනට පවතින සාමාන්‍ය වසර 5ක නීති එලෙසම ක්‍රියාත්මක වන බවද බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.




