මේ සම්බන්ධයෙන් ඔක්තෝබර් 15 වැනිදා දිනැති නිල ලිපියක් එම රූපවාහිනී නාලිකාව වෙත යොමු කර ඇත. හිටපු අමාත්ය විමල් වීරවංශ මහතා අදාළ වැඩසටහන අතරතුර ප්රදර්ශනය කළ ඡායාරූපයේ සත්යතාව විමර්ශනය කරන ලෙස එම ලිපියෙන් ඉල්ලා තිබේ.
නියෝජ්ය අමාත්යවරයාගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, වීරවංශ මහතා විසින් ප්රදර්ශනය කර සාකච්ඡාවට ලක් කළ ඡායාරූපය අබේසිංහ මහතා විසින් ගන්නා ලද මුල් සෙල්ෆි ඡායාරූපය නොවන බවත්, එය AI තාක්ෂණය යොදාගෙන වෙනස් කළ බවට චෝදනා එල්ල වී ඇති බවත් සඳහන් වේ.
කෘත්රිමව නිර්මාණය කළ හෝ වෙනස් කළ ඡායාරූපයක් සත්ය ඡායාරූපයක් ලෙස ඉදිරිපත් කිරීමෙන් මහජනතාව නොමඟ යා හැකි බවත්, එමගින් පුද්ගලයකුගේ කීර්තිනාමයට හානි සිදුවිය හැකි බවත් ලිපියෙන් පෙන්වා දී තිබේ.
විශේෂයෙන්ම සංවේදී ජනවාර්ගික හා ආගමික කරුණු සම්බන්ධ සාකච්ඡාවලදී මෙවැනි ඡායාරූප භාවිත කිරීමෙන් වැරදි අවබෝධයන් ඇතිවිය හැකි අතර, ජාතිවාදී හෝ ආගමික නොසන්සුන්තාවන් උත්සන්න වීමේ අවදානමක් ද පවතින බව එහි සඳහන් වේ.
වැඩසටහනේදී ඡායාරූපය විකාශය කර සාකච්ඡා කිරීමට අවසර දීමට පෙර, එහි සත්යතාව සහ මූලාශ්රය තහවුරු කිරීමට වැඩසටහන් ඉදිරිපත්කරු ප්රමාණවත් පියවර ගත්තේද යන්න පිළිබඳව ද නියෝජ්ය අමාත්යවරයාගේ කාර්යාලය ප්රශ්න කර තිබේ.
ඒ අනුව, ඡායාරූපයේ සත්යතාව සහ මූලාශ්රය තහවුරු කිරීම, අදාළ වීඩියෝවට අවශ්ය නිවැරදි කිරීම් සිදු කිරීම, එම වැඩසටහන හරහාම පැහැදිලි මහජන නිවැරදි කිරීමක් ප්රකාශයට පත් කිරීම සහ ගත් ක්රියාමාර්ග පිළිබඳ ලිඛිත පැහැදිලි කිරීමක් ලබාදීම එම නාලිකාවෙන් ඉල්ලා ඇත.
මෙම ඉල්ලීමේ අරමුණ දේශපාලන අදහස් ප්රකාශ කිරීම සීමා කිරීම නොව, මාධ්ය භාවිතයේ නිරවද්යතාව සහ වගකීම්සහගත බව තහවුරු කිරීම බව නියෝජ්ය අමාත්යවරයාගේ කාර්යාලය අවධාරණය කරයි.
මෙම සිදුවීම වාර්තා වන්නේ, රූපවාහිනී සාකච්ඡාව අතරතුර අදාළ ඡායාරූපය භාවිත කිරීම සම්බන්ධයෙන් නියෝජ්ය අමාත්ය අබේසිංහ මහතා හිටපු අමාත්ය විමල් වීරවංශ මහතාට චෝදනා එල්ල කිරීමෙන් පසුවය.
මීට පෙර සමාජ මාධ්ය සටහනක් තබමින් අබේසිංහ මහතා තමන් මුල් ඡායාරූපය ලෙස හඳුන්වා දුන් ඡායාරූපයක් සහ AI තාක්ෂණයෙන් වෙනස් කළ බවට චෝදනා කරන අනෙක් ඡායාරූපය ද ප්රසිද්ධ කර තිබිණි.
2022 අරගලය අතරතුර ශ්රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ආධාරකරුවන් විසින් විරෝධතාකරුවන්ට පහරදුන් අවස්ථාවක ඔවුන් ආරක්ෂා කිරීමට සහාය වූ අමල් නමැති පුද්ගලයකු සමඟ තමන් සිටින ආකාරය මුල් ඡායාරූපයෙන් දැක්වෙන බව අබේසිංහ මහතා ප්රකාශ කර තිබේ.
ඔහුට අනුව, එම ප්රහාරකයන්ට මුලින්ම මුහුණ දුන් සුළු පිරිස අතර අමල් ද සිටි අතර, ඔහු කළ ක්රියාව අගය කිරීමක් ලෙස මෙම ඡායාරූපය ගෙන ඇත.
කෙසේ වෙතත්, මුල් ඡායාරූපය පසුව AI තාක්ෂණය යොදාගෙන වෙනස් කර අමල් බෞද්ධ භික්ෂුවක ලෙස පෙනෙන ආකාරයට සකස් කර ඇති බවට නියෝජ්ය අමාත්යවරයා චෝදනා කරයි.
එලෙස වෙනස් කළ ඡායාරූපය මත පදනම්ව රූපවාහිනී වැඩසටහනේදී දේශපාලන ප්රකාශ සිදුකළ බවට ද අබේසිංහ මහතා වීරවංශ මහතා විවේචනය කර තිබේ.
මහජනතාව නොමඟ යවන තොරතුරු ඇතුළත් වී ඇත්නම් ඒවා නිවැරදි කිරීමට කඩිනම් සහ වගකීම්සහගත පියවර ගෙන, මාධ්ය කෙරෙහි මහජන විශ්වාසය ආරක්ෂා කරන ලෙස නියෝජ්ය අමාත්යවරයාගේ කාර්යාලය අදාළ රූපවාහිනී නාලිකාවෙන් ඉල්ලා ඇත.





