කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ මත වීසා 14,300ක් පමණ නිකුත් කර ඇති බව අනාවරණය වීමත් සමඟ, එම වීසා ලබාගත් විදේශිකයන්ගේ ක්රියාකාරකම් නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ රාජ්ය මුදල් පිළිබඳ කාරක සභාව අවධානය යොමු කර තිබේ.
පාර්ලිමේන්තුව විසින් ඔක්තෝබර් 15 වැනිදා නිකුත් කළ නිවේදනයකට අනුව, පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් ඔක්තෝබර් 8 වැනිදා පැවති කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇත.
වරාය නගර කොමිෂන් සභාවේ නිර්දේශ මත වීසා ලබාගත් විදේශිකයන්ගේ ක්රියාකාරකම් ප්රායෝගිකව නිරීක්ෂණය කළ හැකි ආකාරය පිළිබඳව කාරක සභා සාමාජිකයෝ එහිදී සලකා බැලූහ.
විදේශීය සේවකයන් සඳහා වීසා නිර්දේශ නිකුත් කිරීම සහ එම පුද්ගලයන් මෙරට තුළ සිදුකරන ක්රියාකාරකම් නිරීක්ෂණය කිරීමට පවතින යාන්ත්රණ පිළිබඳව සාකච්ඡාවලදී විශේෂ අවධානයක් යොමු වී තිබේ.
කොළඹ වරාය නගරය තුළ නීති විරෝධී ක්රියාකාරකම් වැළැක්වීම සහ ශ්රී ලංකාවේ ජාත්යන්තර කීර්තිනාමය ආරක්ෂා කිරීම සඳහා නියාමන ක්රියාමාර්ග ශක්තිමත් කිරීමේ වැදගත්කම ද කාරක සභාව අවධාරණය කර ඇත.
මේ අතර, වරාය නගරයේ ආයෝජනය කරන සමාගම්වල සැබෑ ප්රතිලාභ හිමිකරුවන් (Beneficial Owners) හඳුනාගැනීම සඳහා භාවිත කරන ක්රමවේද, විදේශ ආයෝජනවල විනිවිදභාවය තහවුරු කිරීම සහ මුදල් විශුද්ධිකරණය හා ත්රස්තවාදී කටයුතු සඳහා මුදල් සැපයීම වැළැක්වීම සම්බන්ධයෙන් ද කාරක සභා සාමාජිකයෝ ප්රශ්න කළහ.
කොළඹ වරාය නගරය තුළ ක්රියාත්මක වන ආයෝජන ව්යාපෘතිවල ප්රගතිය ද කාරක සභාව විසින් සමාලෝචනය කර තිබේ.
එහිදී නිලධාරීන් අනාවරණය කර ඇත්තේ, ඇමෙරිකානු ඩොලර් බිලියන 1.12ක පමණ වටිනාකමකින් යුත් ඉඩම් කොටස් නවයක් මේ වන විටත් බදු දී ඇති බවයි. තවත් ඇමෙරිකානු ඩොලර් බිලියනයක වටිනාකමකින් යුත් ඉඩම් කොටස් හයක් බදු දීමට සැලසුම් කරමින් පවතින බව ද ඔවුහු සඳහන් කළහ.
රජයට අයත් ඉඩම් කොටස් හතරක් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම සඳහා සූදානම් කරමින් පවතින බව ද කොමිෂන් සභාව කාරක සභාවට දැනුම් දී ඇත.
නිලධාරීන්ට අනුව, මෙම ඉඩම් වසර 99ක කාලයක් සඳහා බදු දී ඇති අතර, වර්ග මීටරයක සාමාන්ය වටිනාකම ඇමෙරිකානු ඩොලර් 3,000කි.
වරාය නගරය තුළ ව්යාපාර පවත්වාගෙන යාමට අනුමැතිය ලබාගත් සමාගම් සැබවින්ම සිය මෙහෙයුම් ආරම්භ කර තිබේද යන්න පිළිබඳව ද කාරක සභාව විමසා බැලීය. එමෙන්ම අපේක්ෂිත විදේශ ආයෝජන සහ රැකියා අවස්ථා සැබෑ ලෙසම උදා වී තිබේද යන්න ද එහිදී සලකා බලා ඇත.
කොන්ඩෝමිනියම් නිවාස මිලදී ගන්නා ආයෝජකයන් විසින් තැන්පත් කරනු ලබන මුදල් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී කනස්සල්ල පළ වී තිබේ. විශේෂයෙන්ම, එම මුදල් අදාළ සංවර්ධන ව්යාපෘති සඳහා පමණක් භාවිත වන බව තහවුරු කිරීම සඳහා Escrow ගිණුම් භාවිත කිරීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කර ඇත.
නියෝජ්ය අමාත්යවරුන් වන චතුරංග අබේසිංහ සහ නිශාන්ත ජයවීර ඇතුළු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් කිහිපදෙනෙකු ද මෙම සාකච්ඡාවට සහභාගී වී තිබේ.


