ප්‍රංශය ඇමරිකාවේ පැවැත් වූ උත්සවයකට ජනපතිත් යයි

ජාතික දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය සම්බන්ධ සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය යටතේ වන ගිවිසුමට අදාළ (BBNJ) සාමාජිකත්වයට, රටවල් 60ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ප්‍රංශ රජය විසින් සංවිධානය කළ උත්සවයකට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගී විය.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ඇතුළු සෙසු රටවල රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන් නිව්යෝර්ක් නුවරදී මෙම උත්සවය පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උත්සවයට සහභාගී වූයේ මෙම ගිවිසුමට එළැඹි සාමාජික රටක් වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමිනි.

එම ගිවිසුමට එළැඹි 58 වන සාමාජික රට ලෙස, ශ්‍රී ලංකාව 2025 සැප්තැම්බර් 16 වන දින ඊට එළැඹුණු අතර, එමඟින් එම සම්මුතියේ පාර්ශ්ව රාජ්‍යයක් බවට පත් විය.

දශක දෙකක සාකච්ඡා වලින් පසු, ජාතික දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්වය පිළිබඳ ගිවිසුම (BBNJ) ලෙස හැඳින්වෙන මෙම ගිවිසුමට මේ වන විට රටවල් 60ක් අත්සන් තබා ඇත.

ලෝකයේ සාගර වලින් 2/3ක් ආවරණය කරන මෙම ගිවිසුමෙන්, සාගර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට, තිරසාර ලෙස භාවිත කිරීමට සහ ස්වදේශීය අධිකරණ බලයෙන් ඔබ්බට වූ ප්‍රදේශ වලට එම ජෛව විවිධත්ව ප්‍රතිලාභ බෙදා ගැනීමට කටයුතු කෙරේ. එම ගිවිසුම 2026 ජනවාරි 17 වන දින සිට නිල වශයෙන් ක්‍රියාත්මක වීමට නියමිත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *