සාම සාධක බළකාය දිවයිනට

එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සදහා මෙරටින් පිටත්ව ගිය යුද හමුදා භට පිරිස් වසර 7 ක සාම සාධක මෙහෙයුම් අවසන් කරමින් යළි කටුනායක ගුවන්තොටුපොළට පැමිණි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක රසික කුමාර මහතා පැවැසීය.

යුද හමුදා මාණ්ඩලික නිලධාරීන් 14 ක් ඇතුළු සෙසු නිලයින් 1099 ක් මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරී සඳහා ඉකුත් 2017 වසරේ යොදවා තිබූ අතර එම බලඇණියේ අණදෙන නිලධාරි වශයෙන් කර්නල් පින්සර වික්‍රමාඅරච්චි මහතා කටයුතු කළේය.

සාම සාධක මෙහෙයුම්වලින් විදේශ විනියම ලෙස රුපියල් මිලියන 14,524 කට අධික මුදලක් මෙරටට උපයාදී ඇති බව රසික කුමාර මහතා කීය.

මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුමේ යෙදී සිටි ශ්‍රී ලංකා පාබල හමුදාවේ කපිතන්වරයකු සහ කෝප්‍රල්වරුන් දෙදෙනකු කැරලිකරුවන් විසින් ඇටවූ පුපුරණද්‍රව්‍යය ඇටවුමකට හසුව 2019 වසරේ මියගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

එලෙස මියගොස් තිබුණේ ශ්‍රී ලංකා පාබල හමුදාවේ කපිතන් එච්.ඩබ්.ඩී. ජයවික්‍රම, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් එස්.එස්. විජේකුමාර සහ ශ්‍රී ලංකා යුද හමුදා සේවා බළකායේ කෝප්‍රල් එම්.ජී.එල් දේශප්‍රිය නැමැති තිදෙනෙකි.

යුද හමුදා නිලධාරීන් පස්දෙනෙකු සහ සෙසු නිලයන් 29 දෙනෙකු සාම සාධක රාජකාරියේදී තුවාල ලබා ඇති බව යුද හමුදාව කියයි.

සාම සාධක බළඇණිය කටුනායක ගුවන්තොටුපොළට පැමිණීමෙන් අනතුරුව එම බළකායේ අණදෙන නිලධාරි කර්නල් පින්සර වික්‍රමාඅරච්චි මහතා විසින් ස්වේච්චා බළ සේනාවේ සේනා විධායක මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර මහතාට එක්සත් ජාතීන්ගේ ධජය බාර දී මාලි රාජ්‍ය යේ මෙහෙයුම් අවසන් කිරීම සනිටුහන් කළ බවද රසික කුමාර මහතා පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *