ශ්‍රී ලංකාව, ඇමෙරිකාව සහ ලොව බොහෝ රටවල් මෙම වසරේදී මැතිවරණ පවත්වන බවත් එම මැතිවරණවලින් කුමන අපේක්ෂකයා ජයග්‍රහණය කළත් ඇමෙරිකාව සැමවිටම ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපවී සිටින බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය පැවැසුවාය.
ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසන පරිදි නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට සහ කතා කිරීමට ඇමෙරිකානු ජනතාවට අයිතියක් තිබෙන බවත් එම අයිතිය තමන් අකැමැති ප්‍රතිපත්ති විවේචනය කිරීමට පවා යොදාගත හැකි බවත් චන්ග් මහත්මිය පැවැසුවාය.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය, එළඹෙන 4 වැනිදාට යෙදී තිබෙන ඇමෙරිකාවේ 248 වැනි නිදහස් දින සැමරුම කොළඹ ගාලු මුවදොර හෝටලයේදී ඊයේ(27) උත්සවශ්‍රීයෙන් සමරනු ලැබූ අතර එහිදී අදහස් දක්වමින් ඇමෙරිකානු තානාපතිවරිය මෙම අදහස් පළ කළාය.
මෙරට ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහභාගී වූවේය.
ඇමෙරිකාවේ 248 වැනි නිදහස් දිනය සැමරීම සඳහා මෙරට මැති ඇමතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් එම උත්සවයට සහභාගී වූහ.
වසර 248 කට පෙර 1776 ජූලි 4 වන දින ඇමෙරිකාව නිදහස් ප්රකාශනයට අත්සන් තැබුවේය.