රුසියානු යුද පුහුණු පාසලේ ඉන්න අපේ අය ගැන හෙළිදරව්වක්

රුසියානු – යුක්‍රේන යුද පෙරමුණුවලට අනීතික ලෙස ගොස් දරුණු ලෙස තුවාල ලබා දිවි බේරාගෙන යළි මෙරටට පළා ආ විශ්‍රාමික සෙබළුන් කිහිපදෙනෙකු තමන් මුහුණදුන් බිහිසුණු හා අමිහිරි අත්දැකීම් ගැන අනාවරණය කළේය.

ඔවුන් පවසන්නේ, ඉහළ වැටුප් හා විවිධ පහසුකම් ලබාදෙන බව පවසා තමන්ව එරටට යොමු කළත් ඒ කිසිවක් නිසි ආකාරයෙන් නොලැබුණු බවය.

කොමාන්ඩෝ රෙජිමේන්තුවේ වසර 22ක කාලයක් සේවය කර විශ්‍රාම ගොස් රුසියාවට ගිය පසුව එරට කුලී හමුදාවට සම්බන්ධවී යළි මෙරටට පැමිණි මොනරාගල – දඹගල්ල ප්‍රදේශයේ පදිංචි ලලිත් ශාන්ත අද දෙරණට සිය අත්දැකීම් විස්තර කළේය.

“16 දෙනෙත් විතර ගියා… එක එක තැන්වලට දැම්මා. ඒ තැනින් ඉදිරි ආරක්ෂක පෙළට දැම්මා. මෝටාර් ප්‍රහාරයක් එල්ල වුණා. උරහිසට, දණහිසට හා යටිපතුට වැදුණා. කිලොමීටර් 8ක් විතර මම කකුල ඇදගෙන ආවේ. එහෙ තියෙන්නේ තාක්ෂණික යුද්ධයක්. ඒක ජයගන්න අපිට අමාරුයි. කෑම හරියට දෙන්නේ නැහැ. පහසුකම් නැහැ. ටෙන්ට් ගහන් හට් ඇතුළේ ඉන්න තියෙන්නේ. අධික සීතලයි. බොහොම දුෂ්කරය ජීවිතයක් ගත කළේ. කිව්වේ පුරවැසිභාවය දෙනවා, දරුවන්ට ඉගෙන ගන්න පහසුකම් දෙනවා, ඒ අය ගොඩක් දේවල් කිව්වා. ඒත් ඒ කිසිම දෙයක් ලැබුණේ නැහැ.”     

එමෙන්ම වැලිගම, දෙණිපිටියේ පදිංචි චන්දන බණ්ඩාර ද රුසියානු යුද පෙරමුණේදී තුවාල ලබා දුෂ්කරතා රැසක් මැද යළි මෙරටට පැමිණි අයෙකි.

“යුද්ධයට දාන්නේ නැහැ කියලා අපිව අරගෙන ගියා පුහුණු පාසලකට. 150ක් 200ක් විතර අපේ ශ්‍රී ලංකාවේ හමුදා සෙබළුන් ඒ පාසලේ පුහුණුව ලබමින් සිටියා. ඇති තරම් ආයුධ දුන්නා… නමුත් අපිට කෑමයි වතුරයි දුනේනේ නැහැ. කරුවලේ ට්‍රක් එකක දාගෙන අරන් ගිහිල්ලා කෙළින්ම ලයින් එකට දාලා ඇටෑක් එකට දැම්මා.  මගේ කකුල් දෙකට ඩ්‍රෝන එකක් වැදුනා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *