පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව 32 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ මාවනැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
එම පුද්ගලයා ඔන්ලයින් ක්‍රමයට රෙදිපිළි ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔහුව රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කෙරෙන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස හඳුනාගෙන සිටින සහරාන් හෂීම් නැමැත්තා 2018 වසරේ අවසාන කාලයේදී ලංකාවේ විවිධ ප්‍රදේශවල මුස්ලිම් තරුණයින් සම්බන්ධ කරගෙන පන්ති පවත්වා ඇති බවට අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම පන්ති හරහා අන්තවාදී සහ වහබ්වාදී මතවාද තරුණයින් අතර ප්‍රචාරය කිරීමට සහරාන් උත්සාහ ගෙන තිබෙන බවය.
මෙම පන්ති සංවිධානය කළ පුද්ගලයින් සහ එම පන්ති තුළ ඉගැන්වීම් කළ පුද්ගලයින් සොයා නිරන්තරයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මේ වනවිට එවැනි පුද්ගලයින් 13 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන බවද ඔහු පැවසීය.