750ml ප්ලාස්ටික් බෝතල් පරිසරයට එක්වීම වැලැක්වීමට කදිම සැළැස්මක්

මිලිලීටර් 750 ප්ලාස්ටික් බෝතල් පරිසරයට එක්වීම වැළැක්වීමට විකල්ප වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

ප්ලාස්ටික් බෝතල් තහනම් කිරීම ප්‍රායෝගික නොවන බව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙයි.

එම නිසා මිලිලීටර් 750 ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රියකරණය සඳහා එම බෝතල් මිලදී ගන්නා විට කිසියම් මුදලක් තැන්පතුවක් වශයෙන් තබා ගැනීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇත.

හිස් බෝතලය නැවත බාර දී අදාළ තැන්පත් මුදල යළි ලබා ගත හැකිවන අතර, හිස් බෝතලය ඉවතට වීසි කළද වෙනත් අයෙකුට එවැනි බෝතල් එක්රැස් කර බාරදීම මගින් අමතර ආදායමක් උපයා ගැනීමට ද හැකිවන බව පරිසර අමාත්‍යාංශය පවසයි.

දැනට යෝජනා වී ඇති පරිදි එම තැන්පතු මුදල රුපියල් 10කි.

මෙම යෝජනාවට අදාළ සමාගම් ද එකඟත්වය පළ කර තිබේ.

පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දැනට මෙරට තුළ එවැනි බෝතල් ප්‍රතිචක්‍රියකරණය කළ හැකි කර්මාන්තශාලාවක් නොමැති හෙයින් මෙම ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදන සමාගම් එක්ව ඒකාබද්ධ ප්‍රතිචක්‍රියකරණ කර්මාන්ත ශාලාවක් පිහිටුවීම කෙරෙහි ද මේ වනවිට අවධානය යොමු වී ඇති බවය.

මේ අතර මෙරට පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙල යටතේ තවත් පොලිතීන් හා ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන ලැයිස්තුවක් සකස් කර තිබෙන අතර එම නිෂ්පාදන ද ඉදිරි කාලය තුළ තහනම් කිරීමට යෝජිත බව පරිසර අමාත්‍යාංශය පවසයි.

මේ වනවිටත් ඒ ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් තහනම් කර තිබේ.

එම පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන රැසක් තහනම් කිරීමට හේතුව ඒවා නිෂ්පාදනයට පරිසර හිතකාමී හා පහසුවෙන් දිරාපත්වන විකල්ප තිබියදී නිපදවනු ලබන ද්‍රව්‍ය වීමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *