ශ්‍රී ලංකාවේ යුක්තිය ඉටු කිරීමේ ප්‍රගතිය මන්දගාමීයි

ශ්‍රී ලංකා රජය අතීතයේ සිදුවූ බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නඩු පැවරීම සහ වගවීම තහවුරු කිරීමේ ක්‍රියාවලියේ ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා නොමැති බව Human Rights Watch (HRW) සිය නවතම වාර්තාවෙන් පෙන්වා දෙයි.

සැප්තැම්බර් 1 වැනිදා නිකුත් කළ පිටු 49කින් සමන්විත “Not Genuine with Justice: Sri Lanka’s Lack of Will to Prosecute Past Abuses” නම් වාර්තාව මගින්, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රජය 2024දී බලයට පත්වීමෙන් පසු ප්‍රගතියක් පෙන්වා ඇති බවට සැලකෙන බරපතළ මානව හිමිකම් සිද්ධීන් හතක් පිළිබඳව අවධානය යොමු කර තිබේ.

හියුමන් රයිට්ස් වොච් පවසන්නේ ආධාර සේවකයන් සමූල ඝාතනය කිරීම, මාධ්‍යවේදීන් ඉලක්ක කර ගැනීම සහ විද්වතුන් ඇතුළු පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදන් කිරීම වැනි වැදගත් සිද්ධීන් රැසක විමර්ශන තවදුරටත් ඇනහිට ඇති බවයි. එමෙන්ම වින්දිතයන්ගේ පවුල්වල සාමාජිකයන් සහ මානව හිමිකම් ආරක්ෂකයන් තර්ජන හා බියගැන්වීම්වලට මුහුණ දෙමින් සිටින බවද වාර්තාව සඳහන් කරයි.

“බරපතළ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ප්‍රමාද කිරීම සහ ප්‍රතික්ෂේප කිරීමේ අතීත රාජ්‍ය ක්‍රමවේදයෙන් වෙන්වීමට දිසානායක පාලනය කටයුතු කළ යුතුයි,” යනුවෙන් හියුමන් රයිට්ස් වොච්හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අධ්‍යක්ෂ ලුසි මැක්කර්නන් සඳහන් කළාය.

ඇය වැඩිදුරටත් කියා සිටියේ අතීත අපරාධ සම්බන්ධයෙන් වගවීම තහවුරු කිරීම සඳහා විශ්වාසදායක පියවර ගන්නා ලෙසත්, වින්දිතයන්, ඔවුන්ගේ පවුල් සහ මානව හිමිකම් ආරක්ෂකයන්ට එරෙහි පළිගැනීම් නතර කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිය යුතු බවයි.

වාර්තාව සකස් කිරීමේදී හියුමන් රයිට්ස් වොච් විසින් වින්දිතයන්, අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්, නීතිඥයන් සහ මානව හිමිකම් ආරක්ෂකයන් 32 දෙනෙකු සමඟ සාකච්ඡා කර ඇති අතර, අධිකරණ ලේඛන ඇතුළු මූලාශ්‍ර විශාල ප්‍රමාණයක්ද පරීක්ෂා කර තිබේ.

1987-1989 දකුණේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල සහ 2009දී අවසන් වූ එල්ටීටීඊය සමඟ පැවති සිවිල් යුද්ධය අතරතුර රාජ්‍ය ආරක්ෂක අංශ සහ රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් විසින් දස දහස් ගණනක් පුද්ගලයන් වධහිංසාවට ලක් කර, පැහැරගෙන ගොස්, බලහත්කාරයෙන් අතුරුදන් කර හෝ ඝාතනය කර ඇති බව හියුමන් රයිට්ස් වොච්ප වසයි.

1990 දශකයේ සිට අතීත මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අනුක්‍රමික රජයන් විසින් කොමිෂන් සභා 10කට වැඩි සංඛ්‍යාවක් පත් කර තිබුණද, ඒවා කිසිවක් නඩු පැවරීමකට හෝ අතුරුදන් වූ දහස් ගණනකගේ ඉරණම හෙළි කිරීමට හේතු වී නොමැති බවද වාර්තාව පෙන්වා දෙයි.

ජාෆ්නා ආසන්නයේ චෙම්මානි ප්‍රදේශයේ සමූහ මිනීවළකින් මිනිස් සිරුරු 582ක අවශේෂ සොයාගෙන තිබුණද, ඒවා කාගේද යන්න හඳුනා ගැනීමට හෝ ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි සොයා ගැනීමට මෙතෙක් පැහැදිලි ප්‍රගතියක් නොමැති බව හියුමන් රයිට්ස් වොච්  සඳහන් කරයි.

කෙසේ වෙතත්, මීට පෙර ඇනහිට තිබූ වැදගත් විමර්ශන කිහිපයක් සම්බන්ධයෙන් වත්මන් රජය යම් ප්‍රගතියක් ලබා ඇති බවද වාර්තාව පිළිගනී. ඒ අතර 2009දී මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, 2010දී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම සහ 2008-2009 කාලයේ නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයන් විසින් තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලා සිටීමේ සිද්ධිය ඇතුළත් වේ.

2019 පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වූ බවට එල්ල වන චෝදනා පිළිබඳ විමර්ශනයද ජනාධිපති දිසානායක බලයට පත්වීමෙන් පසු ඉදිරියට ගොස් ඇති බව හියුමන් රයිට්ස් වොච් පවසයි. 2026 පෙබරවාරි මාසයේදී හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වන සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමද එම විමර්ශනයේ වැදගත් පියවරක් ලෙස සඳහන් කර තිබේ.

එහෙත් 2006දී දෙමළ සිසුන් පස්දෙනෙකු ඝාතනය කිරීම සහ ප්‍රංශ ආධාර සංවිධානයක් වන Action Contre la Faim හි බොහෝ දෙනෙකු දෙමළ ජාතික වූ සේවකයන් 17 දෙනෙකු ඝාතනය කිරීම වැනි සිද්ධීන් සම්බන්ධයෙන් තවමත් ප්‍රමාණවත් ප්‍රගතියක් නොමැති බව හියුමන් රයිට්ස් වොච් පවසයි.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් පිහිටුවන ලද Sri Lanka Accountability Project පිළිගැනීමට රජය මෙතෙක් එකඟ වී නොමැති බවත්, අතීත අපරාධ සම්බන්ධයෙන් ස්වාධීනව නඩු පැවරීම සඳහා පොරොන්දු වූ Directorate of Public Prosecution ආයතනයද ස්ථාපිත කර නොමැති බවත් වාර්තාව සඳහන් කරයි.

හියුමන් රයිට්ස් වොච් අවධාරණය කරන්නේ අතීත අපරාධ සම්බන්ධයෙන් දශක ගණනාවක් පුරා පැවති දඬුවම් නොලැබීමේ තත්ත්වය අවසන් කිරීමට ශ්‍රී ලංකා රජය කඩිනම් සහ විශ්වාසදායක පියවර ගත යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *