එලඹෙන සඳුදා දිනයේ සිට අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට පියවර ගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.
ඒ අනුව සෑම ප්‍රධාන රෝහලකම එන්නත් කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කරන බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කරයි.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,
“සෑම ප්‍රධාන රෝහලකම අපි එන්නත් කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න සූදානම් කරලා තියෙනවා ලබන සඳුදා දිනයේ සිට. සියලුම 60ට වැඩි පුරවැසියන්ට. මේක දිනපතාම කෙරෙන වැඩපිළිවෙලක්. මේ සඳහා අවශ්‍ය වන්නේ තමාගේ හැඳුනුම්පත පමණයි. අපි ලබාදීලා තියෙනවා ඉල්ලුම් පත්‍රයක්. ඒක නිවසේදී පුරවාගෙන ආවොත් එන්නත ඉතාමත් ඉක්මණින් ලබාගන්න පුළුවන්.”
මේ අතර එන්නත් ලබා ගැනීම සඳහා පැමිණෙන අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ගේ අඩුවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.
“අපිට නිරීක්ෂණය වූ දෙයක් තමයි 60ට වැඩි අයගේ පැමිණීම අපි ලබාපොරොත්තු වුණු ප්‍රමාණයට නෑ. ඒකට හේතු ගණනාවක් තිබෙන්න පුළුවන්. මරණ සංඛ්‍යාවෙන් වැඩි කොටසක් සහ රෝගී වෙන අයගෙන් වැඩි කොටසක් 60ට වැඩි අය නිසාත් එන්නත ලබාදීමෙන් සංකූලතාවලට යෑමේ තිබෙන ඉඩකඩ අවම කරගන්න පුළුවන් නිසා අපි නැවත නැවතත් අවධාරණය කරන්නේ තමන්ගේ වැඩිහිටියන්ව මේ සති අන්තයේ ළඟම තියෙන එන්නත් මධ්‍යස්ථානයට රැගෙන ගිහින් ඒ එන්නත ලබාදෙන්න කියලා.”
දැනට මෙරට භාවිතයට ගන්නා කොවිෂීල්ඩ්, සයිනොෆාම් සහ ස්පුට්නික් V යන එන්නත්වල එක් මාත්‍රාවක් හෝ ලබාගත් පුද්ගලයින් ගණන 2,543,022 කි.
ඉන් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 874,975කි.