කජු කර්මාන්තයට නව තාක්ෂණික බලයක්: ගසකින් කිලෝ 20ක් දක්වා අස්වැන්නක් ගැන අවධානය

ශ්‍රී ලංකාවේ කජු කර්මාන්තය ශක්තිමත් කරමින් වගා ව්‍යාප්ත කිරීම සඳහා පර්යේෂණ හා තාක්ෂණික සහාය ලබාදීමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සූදානම් බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය.

කජු ක්ෂේත්‍රය මුහුණ දෙන වත්මන් සහ අනාගත තාක්ෂණික, පර්යේෂණ හා මෙහෙයුම් අභියෝග හඳුනා ගැනීම සඳහා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවක් පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ කජු වගාවේ වත්මන් තත්ත්වය, ක්‍රමානුකූලව වගා කර ඇති භූමි ප්‍රමාණය සහ නිෂ්පාදනය තවදුරටත් ව්‍යාප්ත කිරීමේ හැකියාව පිළිබඳව එහිදී අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාවේ කජු ගසකින් දැනට සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 4ත් 5ත් අතර අස්වැන්නක් ලැබෙන බවත්, වෙනත් රටවල නවීන වගා ක්‍රම භාවිත කිරීමෙන් එම අස්වැන්න ගසකට කිලෝග්‍රෑම් 20ක් පමණ දක්වා ඉහළ නංවා ඇති බවත් පාර්ශ්වකරුවෝ පෙන්වා දුන්හ.

සංවර්ධිත කජු කර්මාන්තයක් පවත්වාගෙන යාම සඳහා වාර්ෂිකව පැළ මිලියනයක් පමණ අවශ්‍ය වන නමුත්, දැනට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන්නේ පැළ 300,000ත් 400,000ත් අතර ප්‍රමාණයක් පමණක් බවද ඔවුහු සඳහන් කළහ.

කජු ක්ෂේත්‍රයේ දිගුකාලීන සංවර්ධනය සැලකිල්ලට ගනිමින් ප්‍රමාණවත් ග්‍රාෆ්ට් කළ පැළ නිෂ්පාදනය කිරීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේද හඳුන්වාදීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරිණි.

අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසුවේ වැඩිදියුණු කළ කජු ප්‍රභේද හඳුනා ගැනීම, අස්වැන්න ඉහළ නැංවීම, ගුණාත්මක බීජ සහ ග්‍රාෆ්ට් කළ පැළ නිෂ්පාදනය කිරීම මෙන්ම නවීන පටක රෝපණ ක්‍රමවේද සංවර්ධනය කිරීම සඳහා අමාත්‍යාංශය යටතේ පවතින පර්යේෂණ ආයතන සහාය ලබාදෙන බවයි.

රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර උපායමාර්ගික හවුල්කාරිත්වයන් ඇති කිරීමේ අවශ්‍යතාවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම ඉහළ අස්වැන්නක් ලබාදෙන ජානමය ද්‍රව්‍ය වෙනත් රටවලින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශක්තිමත් අවබෝධතා ගිවිසුම් හරහා ක්‍රමවේද සකස් කිරීමේ අවශ්‍යතාවද ඔහු අවධාරණය කළේය.

කජු ගස ආශ්‍රිතව අගය එකතු කළ නිෂ්පාදන සංවර්ධනය කිරීම, වගාව විවිධාංගීකරණය කිරීම සහ කජු කර්මාන්තයේ පවතින අවස්ථා පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡාවේදී අවධානය යොමු විය.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන, ශ්‍රී ලංකා කජු සංස්ථාව, වයඹ විශ්වවිද්‍යාලය මෙන්ම පෞද්ගලික අංශයේ කජු වගාකරුවන් සහ නිෂ්පාදකයින්ගේ නියෝජිතයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *