ලසිත් මාලිංග

“ඔස්ට්‍රේලියාව පරදන්න දක්ෂතා වගේම බුද්ධියත් තියෙන්න ඕන” විස්සයි-20 නායක ලසිත් මාලිංග

ඔස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය ලෝක කුසලාන සදහා හොද පෙරහුරුවක් බවත් කණ්ඩායමට දක්ෂතා වගේම බුද්ධිමත් ක‍්‍රීඩකයන්ද සිටිය යුතු බවත් විස්සයි විස්ස නායක ලසිත් මාලිංග පවසයි. ශ‍්‍රී ලංකා කණ්ඩායමට හෙට (20 දා) ඔස්ටේ‍්‍රලියාව බලා යෑමට නියමිතය.

‘මට ගොඩක් සතුටුයි නවක කණ්ඩායමක් ගිහිල්ලා ලෝකයේ අංක එකේ කණ්ඩායම පරාජය කරලා අනාගතයේ ලංකාවේ ක‍්‍රිකට් දිනවන්න හොද ක‍්‍රීඩකයන් ඉන්නවා කියලා පෙන්නපු එකට. මේ තරගාවලිය අපිට හොද පෙරහුරුවක්.

කණ්ඩායමේ කවුරු නායකත්වය දැරුවත් තරග දිනවන්නට දක්ෂතාව පමණක් නොව ක‍්‍රීඩා කරන කී‍්‍රඩකයන් 11 දෙනාගෙන් හත්දෙනකුවත් බුද්ධිමත් තීරණ ගන්නා අය විය යුතු බවද මාලිංග පවසයි.

‘‘විස්සයි විස්ස තරගවල අපි නිතරම බලන්නේ පන්දුවාර 20 ක් වුණත් තීරණ ඉක්මනින් ගන්න එක. වැදගත්ම සාධකය වන්නේ තරග ජය ගන්න ක‍්‍රීඩකයන් ගන්න තීරණය වගේම බුද්ධිමත් බව වැදගත් වීමයි. දක්ෂතාව වගේම බුද්ධිමත් ක‍්‍රීඩකයන් කණ්ඩායමේ 11-12 ක් ඉන්න ඕනේ. 11 ක් ගහන කොට තනියෙන් තරග දිනවන ක‍්‍රීඩකයන් හත්දෙනකුවත් සිටිය යුතුයි. මගේ බලාපොරොත්තුව කවුරු නායකත්වය දැරුවත් බුද්ධිමත් දක්ෂ ක‍්‍රීඩකයන් නිර්මාණය කරලා දෙන්න.’’

පාකිස්තාන් සංචාරයට තමාට සහභාගි වීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඉතාමත් සතුටු වන බවද මාලිංග පවසයි.

‘‘පාකිස්තාන් සංචාරයට මම සහභාගි නොවුන එක ගැන මම සතුටුයි. මොකද මම ගියා කියන්නෙ තවත් ක‍්‍රීඩයකුට තියෙන අවස්ථාව නැතිවෙන එක. මම දැනට විස්සයි විස්ස තරග විතරයි කී‍්‍රඩා කරන්නෙ. අපිට පාකිස්තාන් සංචාරයේදී දක්ෂ නායකයකු ලැබුණා. නවක ක‍්‍රීඩකයන්ට එකදිගට තරග ක‍්‍රීඩා කරන්න ලැබුණා. ඒ නිසා මට පාකිස්තාන් සංචාරයට සහභාගී වෙන්න බැරිවීම ගැන ඉතාමත් සතුටුයි.

දැන් සිටින නවක ක‍්‍රීඩකයන් කවුද යන්න තමා මීට වසර හයකට පෙර දැක්ක බවත් එම ක‍්‍රීඩකයන් දැන් තමාටත් වඩා දක්ෂ බවත් මාලිංග පවසයි.

‘‘මම සමුගන්නෙ මට හිතෙන වෙලාවට. ඒක මට ප‍්‍රශ්නයක් නෙමෙයි. ළාබාල ක‍්‍රීඩකයන් හොදට කරනකොට මාලිංග සමුගන්නෙ නැත්තෙ ඇයි කියන ප‍්‍රශ්නය එනවා. හැබැයි ඔය ළාබාල ක‍්‍රීඩකයන් වන දසුන් ශානක, ෂෙහාන් ජයසුරිය වැනි ක‍්‍රීඩකයන් ක‍්‍රීඩාව ආරම්භ කළේ 2013 දී. එදා මට චෝදනා කළා පළිගැනීම් හේතුවෙන් යම් යම් ක‍්‍රීඩකයන්ව කණ්ඩායමෙන් ඉවත් කරනවා කියලා. දැන් අවුරුදු හයකට පස්සෙ හැමෝම තීරණය කරලා තියෙනවා ළාබාල ක‍්‍රීඩකයන් ලසිත් මාලිංගටත් වඩා හොදයි කියලා. ඒ නිසා මම අවුරුදු හයක දුර දැකපු ක‍්‍රීඩකයෙක් විදිහට අද සතුටු වෙනවා.’’

කණ්ඩායමේ දක්ෂතා මෙන්ම බුද්ධිමත් තීරණ ගන්නා ක‍්‍රීඩකයන් සිටිය යුතු බව මාලිංග පැවසුවද ඇන්ජලෝ මැතිව්ස්ට කණ්ඩායමේ ස්ථානයක් නොමැත. ඒ සම්බන්ධයෙන් ඔහු පවසන්නේ මෙවැනි අදහසකි.

‘ඇන්ජලෝ මැතිව්ස් ලංකාවේ කාලයක් තිස්සෙ අපිට හිටපු දක්ෂ ක‍්‍රීඩකයෙක්. ඔහු තරග දිනවන්නෙක්. අසේල ගුණරත්නත් ඉන්නවා. ඔහු ආබාධයකට ලක්වෙලා. ඇන්ජලෝ මැතිව්ස් පසුගිය කාලයේ යම් යම් ආබාධවලට ලක්වුණා. ඔහුගේ ආබාධය දැන් සුව වෙලා තියෙනවා. ඒ නිසා ඔහුට දැන් අවස්ථාව තියෙනවා පන්දු යවන්නෙක් විදිහට පන්දුවාර හතරක් යවලා කණ්ඩායමට එන්න. අපි හැමෝම දන්නවා මැතිව්ස් කොච්චර හොද ක‍්‍රීඩකයෙක්ද කියලා. ඔහුට ඕනෑම වෙලාවක කණ්ඩායමට එන්න හැකියාව තියෙනවා. ඒ ගැන ප‍්‍රශ්නයක් නැහැ.’’

දිවයින

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *