බාල වයස්‌කාර තරුණිය ගැබිනියක කළ දෙදරු පියාගේ ඇප ඉල්ලීම

15 හැවිරිදි බාල වයස්‌කාර තරුණියක්‌ බලහත්කාරයෙන් දූෂණය කර ඇය ගැබ් ගැන්වූ 35 හැවිරිදි විවාහක දෙදරු පියාට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කළ මීගමුව වැඩබලන මහෙස්‌ත්‍රාත් ගොඩ්ප්‍රි කුරේ මහතා සැකකරු රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

කොච්චිකඩේ පොලිසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇප ප්‍රතික්‍ෂේප වූ සැකකරු වූයේ කොච්චිකඩේ ඔබ්බේරිය පදිංචි රාසලිංගම් රාසරාසා නොහොත් අන්තෝනි (35) නමැති විවාහකයෙකි. කොච්චිකඩේ පොලිසිය විසින් සැකකරුට එරෙහිව ගොනු කළ පැමිණිල්ල අනුව සැකකරු උළු මෝලක සේවකයෙකි.

අතවරයට පත් තරුණිය එම උළු මෝල වත්තේ පදිංචිව සිටී. දිනක්‌ සැකකරු ඇය උළු මෝලේ කාමරයකට බලෙන් රැගෙන ගොස්‌ ඇය දූෂණයට ලක්‌කර ඇත. ඉන් අනතුරුව සැකකරු විසින් ඇයට පවසා ඇත්තේ එම සිද්ධිය පිළිබඳ කිසිවකුට පවසා තිබුණොත් පත් තරුණිය සහ ඇගේ දෙමාපියන් ඝාතනය කරන බවය. සැකකරු විසින් ඇයට මරණීය තර්ජන එල්ල කර ඇත. ඇය ඊට බියෙන් කිසිවකුට අතවර සිද්ධිය පිළිබඳ පවසා නැත.

එහෙත් මාස කීපයක්‌ ගතවත්ම තරුණියගේ ශරීරයේ වෙනසක්‌ දැනී ඇය වෛද්‍ය පරීක්‌ෂණයකට ඇගේ දෙමාපියන් විසින් යොමු කිරීමේදී ඇය ගැබිනියක්‌ බවට හෙළිවී ඇත. ඒ අනුව සැකකරු කොච්චිකඩේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණි. කොච්චිකඩේ පොලිසියේ පො.කො. (40290) රුවන් මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

divaina

Leave a Reply

Your email address will not be published. Required fields are marked *