එල් නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි බලපෑම්වලට මුහුණදීම සඳහා පත්කර ඇති විශේෂ කැබිනට් අනුකමිටුව සහ නිලධාරී කමිටුව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්විය.
එහිදී වර්තමාන වියළි කාලගුණික තත්ත්වය, එමගින් ඇතිවන අභියෝග, මේ වනවිට ගෙන ඇති පියවර සහ ඉදිරියේදී පානීය හා ගෘහස්ථ අවශ්‍යතා සඳහා මෙන්ම කෘෂිකාර්මික කටයුතු සඳහා ප්‍රමාණවත් ජල සැපයුමක් සහතික කිරීම පිළිබඳව ජනාධිපතිවරයා සමාලෝචනය කළේය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අනුව ලබන වසරේ පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවලදී දිවයින පුරා දැඩි වියළි කාලගුණික තත්ත්වයක් ඇතිවිය හැකි බවට අපේක්ෂා කෙරේ.
ඒ අනුව කෘෂිකර්මාන්තය, වැවිලි කර්මාන්තය, මිරිදිය ධීවර කර්මාන්තය, ජල සැපයුම සහ විදුලි උත්පාදනය කෙරෙහි ඇතිවිය හැකි බලපෑම් මෙන්ම ඒවාට මුහුණදීම සඳහා සකස් කර ඇති සැලසුම් පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
පසුගිය යල කන්නයේදී කල්තියා සූදානම් වීම සහ නියමිත වේලාවට වගා කටයුතු සිදු කිරීම හේතුවෙන් අස්වනු හානි සාපේක්ෂව අවම මට්ටමක පැවති බව කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් පෙන්වා දුන්හ. ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහාද පියවර ගෙන ඇති බව සඳහන් කෙරිණි.
ජල මට්ටම් සම්පූර්ණයෙන් පහත වැටෙන තෙක් නොසිට, ජල සීමා පැනවීමට සිදුවිය හැකි ප්‍රදේශ කල්තියා හඳුනාගෙන ජනතාව සමඟ සාකච්ඡා කර ක්‍රමවත් ජල කළමනාකරණ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ප්‍රධාන ජලාශ, සුළු වාරිමාර්ග ක්‍රම සහ කුඩා වැව් මගින් ජලය ලබන පාරිභෝගිකයන්ගේ ප්‍රතිශතය ඇතුළත් නිවැරදි දත්ත සහිත පුළුල් දත්ත පද්ධතියක් සකස් කිරීමේ අවශ්‍යතාවද ඔහු අවධාරණය කළේය.
වියළි කාලගුණය හේතුවෙන් වැව්, ගංගා සහ ඇළ මාර්ග සම්පූර්ණයෙන් සිඳී යා හැකි ප්‍රදේශ කල්තියා හඳුනාගෙන අවදානම් සිතියම් සකස් කරන ලෙසද උපදෙස් ලබා දී තිබේ. භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති ජල මූලාශ්‍ර පිරිසිදු කර ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය ලබාදීමේ හැකියාව පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
ඔක්තෝබර් මාසයේදී පළමු වර්ෂාව ලැබීමට අපේක්ෂා කරන බැවින්, ජලාශවලින් ජලය මුදාහරින තෙක් බලා නොසිට වර්ෂා ජලය භාවිත කර කෘෂිකාර්මික ඉඩම් සකස් කිරීම ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. මේ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය ඒකාබද්ධ සැලැස්මකට අනුව කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය බීජ වී සහ පොහොර ප්‍රමාණවත් ලෙස සපයා ගැනීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
එල් නිනෝ තත්ත්වයෙන් මිරිදිය ධීවර කර්මාන්තයට සහ මත්ස්‍ය නිෂ්පාදනයට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳවද අවධානය යොමු වූ අතර, බලපෑමට ලක්වන ධීවර ප්රජාවන්ගේ ජීවනෝපායන් යථා තත්ත්වයට පත්වන තෙක් සහන සැලසීමේ වැඩසටහන් සකස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
වැවිලි කර්මාන්තයට සහ වනජීවී සංරක්ෂිත ප්‍රදේශවල සතුන්ට ප්‍රමාණවත් ජලය සැපයීම සම්බන්ධයෙන් ගතයුතු පියවරද සාකච්ඡාවට ලක් විය.
ඔක්තෝබර් මාසයේ සිට අපේක්ෂිත වර්ෂාපතනයෙන් උපරිම ජල ධාරිතාවක් රැස් කරගත හැකි වන පරිදි වාරිමාර්ග පද්ධති ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මේ අතර, මෙම වසර පුරා අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා සාමාන්‍ය අවශ්‍යතාවයට වඩා ඉහළ විදුලි උත්පාදන ධාරිතාවක් උපායමාර්ගිකව රඳවා ගැනීමට සැලසුම් කර ඇති බවද සාකච්ඡාවේදී අනාවරණය විය. ලබන වසරේ පෙබරවාරි සිට අප්‍රේල් දක්වා ජලාශවල ජල මට්ටම් පහත වැටීමෙන් ඇතිවිය හැකි බලශක්ති අවදානම්වලටද මේ හරහා මුහුණදීමට අපේක්ෂා කෙරේ.


