27 වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඊයේ (25) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) ආරම්භ විය.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන මෙම දින 10ක පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 4 වැනිදා දක්වා දිනපතා පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වේ.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල වෙබ් අඩවියට අනුව, මෙවර ප්‍රදර්ශනය සඳහා ප්රමුඛ පෙළේ දේශීය පොත් ප්‍රකාශකයන් 70ක් පමණ සහ ජාත්‍යන්තර පොත් ප්‍රකාශකයන් 32ක් පමණ එක්ව සිටිති.
සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ඇතුළු භාෂාවලින් පළ වූ දේශීය හා විදේශීය පොත් විශාල ප්‍රමාණයක් මෙහිදී මිලදී ගැනීමට අවස්ථාව සැලසෙන අතර, ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුළ විශේෂ වට්ටම්ද ලබාදීමට නියමිතය.
මීට අමතරව නව පොත් එළිදැක්වීම්, කතුවරුන් සමඟ හමුවීම් සහ විවිධ සාහිත්‍ය වැඩසටහන් රැසක්ද ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වීමට නියමිතය.
මෙවර ප්‍රදර්ශනය සඳහා මාර්ගගතව ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ පහසුකමද හඳුන්වා දී තිබේ. ඒ අනුව අමුත්තන්ට ප්‍රවේශපත්‍ර කල්තියා මිලදී ගෙන, BMICH පරිශ්‍රයේ නම් කර ඇති ප්‍රවේශ කවුළුවලදී QR කේතය භාවිත කර ඇතුළුවීමට හැකියාව ඇත.
මේ අතර, ප්‍රදර්ශන පරිශ්‍රයට පොලිතින් රැගෙන ඒමෙන් වළකින ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා අමුත්තන්ගෙන් ඉල්ලා තිබේ.



