සිවිල් සමාජ සංවිධානයක් වන බහුජන බලය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජිත 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලභාවය සලකා බලන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
යෝජිත සංශෝධනයේ අඩංගු විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්නත්, එහි ඇතැම් විධිවිධාන පාර්ලිමේන්තුවේ අවශ්‍ය බහුතරයෙන් සම්මත කිරීමට අමතරව ජාතික ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය ලබාගත යුතුද යන්නත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක් ලබාගැනීම තම අරමුණ බව එම සංවිධානය පවසයි.
යෝජිත සංශෝධනයේ ඇතැම් විධිවිධාන හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට, බලතල බෙදීමේ මූලධර්මයට සහ රාජ්‍ය ආයතන අතර පවතින පාලන හා තුලන ක්‍රමයට ඇති විය හැකි බලපෑම් පිළිබඳව බහුජන බලය සිය අවධානය යොමු කර තිබේ.
එමෙන්ම, යෝජිත සංශෝධනය ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්රකාශනයට ඇතුළත් කර නොතිබූ බව පෙන්වා දෙන එම සංවිධානය, මෙවැනි වැදගත් ව්‍යවස්ථාමය වෙනසක් සඳහා සෘජු ජනවරමක් ලැබී තිබේද යන්නද ප්‍රශ්න කරයි.
ව්‍යවස්ථා සංශෝධනයට තමන් විරුද්ධ නොවන බව අවධාරණය කරන බහුජන බලය, එවැනි ඕනෑම සංශෝධනයක් නිසි ව්‍යවස්ථාමය ක්‍රියාවලිය අනුගමනය කරමින් සිදුකළ යුතු බවත්, ජනතා ස්වෛරීභාවය, අධිකරණ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ ප්රජාතන්ත්රවාදී ආයතන ආරක්ෂා කළ යුතු බවත් පවසයි.
යෝජිත සංශෝධන සම්බන්ධයෙන් Commonwealth Lawyers Association, LAWASIA, International Association of Judges සහ විනිසුරුවරුන් හා නීතිඥවරුන්ගේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ඇතුළු ජාත්‍යන්තර නීති සංවිධාන සහ විශේෂඥයන් විසින් මතුකර ඇති කරුණු පිළිබඳවද බහුජන බලය අවධානය යොමු කර තිබේ.


