22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කථානායකවරයා අත්සන් තබයි

පාර්ලිමේන්තුවේ අවශ්‍ය විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වූ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කර තිබේ.

කථානායකවරයාගේ සහතිකය සටහන් කිරීමත් සමඟ එම පනත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස බලාත්මක වේ.

මෙම සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ නංවා තිබේ.

එමෙන්ම අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 19 සිට 24 දක්වා වැඩි කර ඇති අතර, ඒ හරහා නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම සහ නඩු කටයුතු සඳහා කොළඹට පැමිණීමට සිදුවන අවශ්‍යතාව අඩු කිරීමේ අරමුණින් ප්‍රාදේශීය අභියාචනාධිකරණ පිහිටුවීමට මග සැලසේ.

මේ අතර, කථානායකවරයා අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතටද සිය සහතිකය සටහන් කර තිබේ.

එම සංශෝධනය මගින් මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව අවුරුදු 61 සිට 63 දක්වාත්, දිසා විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව අවුරුදු 60 සිට 62 දක්වාත් ඉහළ නංවා ඇත.

එමෙන්ම මහාධිකරණ විනිසුරුවරුන්ගේ උපරිම සංඛ්‍යාව 110 සිට 120 දක්වා වැඩි කර ඇති අතර, ඒ අනුව අතිරේක පළාත් මහාධිකරණ සහ පළාත් සිවිල් අභියාචනා මහාධිකරණ පිහිටුවීමටද අවස්ථාව සැලසේ.

මෙම පනත 2026 අංක 23 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත ලෙස බලාත්මක වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *