2036 ඔලිම්පික් සත්කාරකත්වයට ඉන්දියාව සහ කටාර් ඇතුළු රටවල් 7ක් තරගයේ

2036 ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා ඉන්දියාව සහ කටාර් ඇතුළු රටවල් හතක් මේ වන විට ඉදිරිපත්ව සිටින බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) තහවුරු කර තිබේ.

ජර්මනිය, හංගේරියාව, තුර්කිය, දකුණු අප්‍රිකාව සහ දකුණු කොරියාව අනෙකුත් රටවල් වන අතර, එම රටවල් මේ වන විට කමිටුව  සමඟ මූලික සාකච්ඡා සඳහා එක්ව සිටී.

2036 ඔලිම්පික් සත්කාරකත්වය සඳහා ඉදිරිපත්ව සිටින රටවල් අතරින් සුදුසුකම් ලබන අපේක්ෂකයන්ගේ කෙටි ලැයිස්තුවක් 2027 මාර්තු මාසයේදී සකස් කිරීමට කමිටුව අපේක්ෂා කරයි. එහිදී තෝරාගනු ලබන අපේක්ෂකයන් ක්‍රියාවලියේ මීළඟ අදියරට යොමු කෙරෙනු ඇත.

සුදුසුම සත්කාරක රට හඳුනා ගැනීමට 2028 වසරේදී කටයුතු කිරීමට අපේක්ෂා කරන අතර, 2036 ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන රට පිළිබඳ අවසන් තීරණය IOC සාමාජිකයන් විසින් 2029 වසරේ මැද භාගයේදී ගැනීමට නියමිතය.

ඉන්දියාව පළමු වරට ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලබාගැනීමේ අරමුණින් ඉදිරිපත්ව සිටින අතර, එහි සැලසුම් කේන්ද්‍රගත වී ඇත්තේ අහමදාබාද් නගරය ආශ්‍රිතවය.

අහමදාබාද් නගරය 2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීමටද නියමිතය.

මේ අතර, කටාර් රාජ්‍යය ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වූ පළමු මුස්ලිම් බහුතරයක් සහිත රට බවට පත්වීමේ අරමුණින් ඉදිරිපත්ව තිබේ. කටාර් රාජ්‍යය මීට පෙර 2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සහ 2006 ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වූ අතර, 2030 ආසියානු ක්‍රීඩා උළෙලද එරට පැවැත්වීමට නියමිතය.

දකුණු අප්‍රිකාවද ඉතිහාසගත අවස්ථාවක් අපේක්ෂාවෙන් සිටින අතර, මෙතෙක් කිසිදු අප්‍රිකානු රටක් ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙලක සත්කාරකත්වය දරා නොමැත.

2036 ඔලිම්පික් ක්‍රියාවලියට එක්වීමට කැමැත්ත පළ කිරීමට අනෙකුත් රටවලට ඔක්තෝබර් 31 දක්වා අවස්ථාව පවතී.

2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වෙන අතර, 2032 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදී පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *