2027 වසරට එල්පී ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව OQ Trading සමාගමට

2027 වසර සඳහා මෙට්‍රික් ටොන් 420,000ක (±20%) ද්‍රව පෙට්‍රෝලියම් වායුව (LPG) සැපයීමේ කොන්ත්‍රාත්තුව OQ Trading Limited සමාගමට පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙම කොන්ත්‍රාත්තුව 2027 ජනවාරි 1 වැනිදා සිට මාස 12ක කාලයක් සඳහා ක්‍රියාත්මක වන අතර, අවම වශයෙන් මෙට්‍රික් ටොන් 336,000ක ගෑස් සැපයුමක් සහතික කර ඇත.

අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව, සෞදි ඇරම්කෝ (Saudi Aramco) කොන්ත්‍රාත් මිලට මෙට්‍රික් ටොන් එකක් සඳහා ඇමෙරිකානු ඩොලර් 133.93ක ස්ථාවර අමතර මුදලක් එක් කර මෙම සැපයුම් කොන්ත්‍රාත්තුව පිරිනැමීමට නියමිතය. මෙය පිරිවැය, රක්ෂණය සහ ප්‍රවාහන ගාස්තු ඇතුළත් (CIF) පදනම මත සිදු කෙරේ.

2027 වසර සඳහා අවශ්‍ය එල්පී ගෑස් සැපයුම් මිලදී ගැනීම වෙනුවෙන් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා තිබූ අතර, ඒ සඳහා ලංසු හතරක් ඉදිරිපත් වී තිබේ.

අනතුරුව, තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ මත පදනම්ව අමාත්‍ය මණ්ඩලය පත් කළ ප්‍රසම්පාදන කමිටුව විසින් එම ලංසු ඇගයීමට ලක් කර ඇත.

එම ඇගයීමෙන් අනතුරුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර, ඒ අනුව ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව OQ Trading Limited සමාගමට පිරිනැමීමට තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *