නව සංශෝධිත රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය

2024 අගෝස්තු 2 වැනිදා අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි කටයුතු අත්හිටුවා, සංශෝධිත නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඒ අනුව, විශේෂඥ කමිටුවක් ඉදිරිපත් කළ නිර්දේශ පදනම් කරගෙන නව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් දීමට නියමිතය.

අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව, රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීම සඳහා 2024 ජූලි 22 වැනිදා මීට පෙර අනුමැතිය ලබා දී තිබිණි.

කෙසේ වෙතත්, 2024 ඔක්තෝබර් මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් එම පනත් කෙටුම්පත සම්මත කරගැනීමට නොහැකි වී තිබේ.

ඉන් අනතුරුව, යෝජිත නීති කෙටුම්පත තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් සහ අදාළ විෂය ක්ෂේත්‍ර පිළිබඳ විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත.

එම කමිටුව විසින් මුල් පනත් කෙටුම්පතට සිදු කළ යුතු සංශෝධන හඳුනාගෙන ඇති අතර, යෝජිත වෙනස්කම් ඇතුළත් මූලික කෙටුම්පතක් ද සකස් කර තිබේ.

ඒ අනුව, 2024 අගෝස්තු මාසයේ ගැසට් පත්‍රයේ පළ කළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි කටයුතු අත්හිටුවා, විශේෂඥ කමිටුව සකස් කළ කෙටුම්පත පදනම් කරගෙන සංශෝධිත නව නීති කෙටුම්පතක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *