2025 වසරේදී ආරම්භ කළ පාසල් ලිපිද්රව්ය ආධාර වැඩසටහන යටතේ, 2027 අධ්යයන වර්ෂය සඳහා පාසල් සිසුන් ලක්ෂ 15කට රුපියල් 6,000 බැගින් දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
මුදල් අමාත්යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින්, මේ සඳහා වූ යෝජනාවට අමාත්ය මණ්ඩලයේ එකඟතාව හිමිව ඇත.
අමාත්ය මණ්ඩල තීරණයට අනුව, අස්වැසුම සුබසාධක වැඩසටහනට ඇතුළත් පවුල්වල පාසල් සිසුන් ලක්ෂ 10කට රුපියල් 6,000 බැගින් වූ දීමනාව ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම බැර කෙරේ.
මේ අතර, අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශය විසින් හඳුනාගනු ලබන තවත් පාසල් සිසුන් පස්ලක්ෂයකට පාසල් ලිපිද්රව්ය මිලදී ගැනීම සඳහා රුපියල් 6,000 බැගින් වටිනා වවුචර්පත් ලබාදීමට නියමිතය.
සිසුන්ගේ අධ්යාපනික අවශ්යතා සඳහා සහාය වීමේ අරමුණින් මෙම පාසල් ලිපිද්රව්ය දීමනා වැඩසටහන 2025 වසරේ සිට ක්රියාත්මක කරනු ලබයි.
2027 වසරේදී ද මෙම වැඩසටහන අඛණ්ඩව ක්රියාත්මක කිරීමට අවශ්ය පියවර ගන්නා බව ජනාධිපතිවරයා අමාත්ය මණ්ඩලයට දැනුම් දී තිබේ. ඒ අනුව, සෘජු මූල්ය ආධාර සහ වවුචර්පත් මඟින් පාසල් සිසුන් ලක්ෂ 15කට සහන සැලසීමට නියමිතය.


