2018 සිට පාඩු ලබන ලංකා ලුණු සමාගමට වසරක් ඇතුළත ලාභ පෙන්වන්නැයි ජනපතිගෙන් උපදෙස්

ලංකා ලුණු පෞද්ගලික සමාගම 2018 වසරේ සිට පාඩු ලබන බැවින්, ලාභ පෙන්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වසරක කාලයක් ලබාදී තිබේ. 2016 වසරේ ලංකා ලුණු පෞද්ගලික සමාගමේ ලාභය රුපියල් කෝටි 70ක් වූ අතර, 2017 වසර වන විට එහි ලාභය රුපියල් කෝටි 32 දක්වා අඩු විය. ඉන් අනතුරුව 2018 වසරේ ලක්ෂ 28ක් හා 2019 වසරේ එක්කෝටි අනූ එක් ලක්ෂයක් ලෙසට පාඩු ලබා තිබේ.

මෙම හේතු සැලකිල්ලට ගෙන ජනාධිපතිතුමා අවධාරණය කර සිටින්නේ තෙවසරක් ඇතුළත වූ පාඩුවට හේතු වූ කරුණු සොයා බලා ලාභ ඉපැයීම වත්මන් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සතු වගකීමක් බවයි. ජනාධිපතිතුමා මේ බව සඳහන් කලේ ලංකා ලුණු පෞද්ගලික සමාගමේ වත්මන් තත්වය විමසුමට අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ ලුණු ආනයනය මින් ඉදිරියට සම්පූර්ණයෙන්ම නතර කළයුතු බවත් 2015ට පෙර මෙන් සිය නිෂ්පාදන අපනයනය කරන ආයතනයක් බවට ලංකා ලුණු සමාගම පත්කළ යුතු බවයි. එමෙන්ම පාඩු ලැබීම ගැන නිදහසට කරුණු දක්වනවා වෙනුවට ලාභ ඉපැයීමට ඇති උපායමාර්ග තමාට අවශ්‍ය බවත් ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *