1 වසරට ඇතුළත් කර ගන්නා සිසුන් ගණන වැඩිකෙරේ

‍2022 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් කැඳවීම තුළ ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ලබාදුන් නියෝගයක් අභියෝගයට ලක්කර ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

එහි ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ, එක් පන්තියක සිටිය යුතු ළමුන් සංඛ්‍යාව 35ක් විය යුතු බවට ලබාදුන් අධිකරණ නියෝගය උල්ලංඝනය කරමින් එක් පන්තියක් සඳහා ළමුන් 40ක් ඇතුළත් කරගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බවය.

කෙසේවෙතත් අදාළ චෝදනාව සම්බන්ධයෙන් “අද දෙරණ“ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමසීමක් කළේය.

එහිදි අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පවතින වත්මන් තත්ත්වය පිළිබඳ අවදානය යොමුකරමින් එම තීරණය ගත් බවත් ඒ සම්බන්ධයෙන් අදාළ නීතිමය ආයතන දැනුවත් කර ඊට අවශ්‍ය නෛතික අවසරය ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබාගෙන ඇති බවත්ය.

2022 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පසුගිය දා කැඳවනු ලැබීය.

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට අපේක්ෂා කරන මව්පියන් හෝ නිත්‍යානුකුල භාරකරුවන් එම අයදුම්පත් සම්පුර්ණ කර ඒවා අදාළ පාසල් ප්‍රධානීන්ට ලබන ජුනි 30 වන දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් යොමුකළ යුතු බව අධ්‍යාපන ආමාත්‍යාංශය පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *