1956 අංක 47 දරන කාන්තාවන්, තරුණ පුද්ගලයන් සහ ළමුන් සේවයේ යෙදවීම පිළිබඳ පනත යටතේ සිදුකරන වැරදි සඳහා පනවා ඇති දඩ මුදල රුපියල් 10,000 සිට රුපියල් 100,000 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) සම්මුතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ නීති යාවත්කාලීන කිරීමේ අරමුණින් කාන්තාවන්, තරුණ පුද්ගලයන් සහ ළමුන් සේවයේ යෙදවීම (සංශෝධන) පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත.
අගෝස්තු 20 වැනිදා පාර්ලිමේන්තුවේ දෙවැනිවර කියවීමට නියමිත මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු අධ්‍යාපන, මානව සම්පත් සහ මානව ප්‍රාග්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් සලකා බලා තිබේ.
කම්කරු අමාත්‍යාංශ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ වර්තමානයේ පවතින දඬුවම් නීති උල්ලංඝනය කිරීම් වැළැක්වීමට ප්‍රමාණවත් නොවන බවයි.
පවතින නීතිය යටතේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සේවයේ යෙදවීම තහනම් වන අතර, වයස අවුරුදු 16ත් 18ත් අතර තරුණයන්ගේ සේවා නියුක්තිය නියාමනය කර ඇත. ඔවුන්ගේ සෞඛ්‍යයට, ආරක්ෂාවට හෝ සදාචාරයට හානි කළ හැකි අවදානම් සහිත රැකියාද තහනම් කර තිබේ.
2003 වසරේ සිදුකළ සංශෝධන මගින් අධිකරණයට රුපියල් 10,000 දක්වා දඩයක්, මාස 12ක් දක්වා සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම පැනවීමටත්, බලපෑමට ලක්වූ ළමුන් සඳහා වන්දි ලබාදීමටත් හැකියාව ලබාදී තිබිණි.
නව පනත් කෙටුම්පත මගින් පනතේ 7(3), 13(2) සහ 20(a)(3) වගන්ති යටතේ පවතින අවම දඩ මුදල් සංශෝධනය කිරීමට යෝජනා කර ඇත.
කාරක සභා සාමාජිකයන් මෙම සංශෝධනය කාලෝචිත හා අත්‍යවශ්‍ය පියවරක් බවට එකඟ වී පනත් කෙටුම්පත අනුමත කර තිබේ.
මීට අමතරව, කම්කරු අමාත්‍යාංශය, කම්කරු දෙපාර්තමේන්තුව, මිනිස්බල හා රැකියා දෙපාර්තමේන්තුව, ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය සහ ජාතික කම්කරු අධ්‍යයන ආයතනයේ වාර්ෂික කාර්යසාධන වාර්තා ද කාරක සභාවේදී සමාලෝචනය කර ඇත.


