වන අලි ඇතුළු වන සතුන් ආරක්ෂා කිරීමට ගල්ගමුවේ විශේෂ මෙහෙයුමක්

වන අලි ඇතුළු වන සතුන්ට තර්ජනයක් වන නීතිවිරෝධී දඩයම් උපකරණ සහ ගිනිඅවි සොයා ඉවත් කිරීමේ දෙදින මෙහෙයුමක් ඔක්තෝබර් 6 සහ 7 යන දිනවල ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් ග්‍රාම නිලධාරී වසම් තුනකදී සාර්ථකව සිදුකර තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කුරුණෑගල සහකාර අධ්‍යක්ෂවරයාගේ බල ප්‍රදේශය තුළ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය නියෝජනය කරමින් නිලධාරීන් 60කට ආසන්න පිරිසක් මෙයට එක්ව සිටියහ.

මෙහෙයුම අතරතුර වැව් පිටි සහ ලඳු කැලෑ ආශ්‍රිත ප්‍රදේශවල අටවා තිබූ සත්ත්ව උගුල් විශාල ප්‍රමාණයක් මෙන්ම සතුන්ට තුවාල සිදු කිරීමට හෝ මරා දැමීමට යොදාගන්නා පුපුරණ ද්‍රව්‍ය උපකරණයක් වන හක්කපටස් ද ඉවත් කිරීමට නිලධාරීහු කටයුතු කළහ.

මීට සමගාමීව සිදුකළ වැටලීම්වලදී නීතිවිරෝධී ගිනිඅවි, හක්කපටස්, සත්ත්ව උගුල්, දඩමස් සහ සත්ත්ව කොටස් ළඟ තබාගෙන සිටි සැකකරුවන් කිහිපදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නීතිවිරෝධී දඩයම් උපකරණ සොයා ඉවත් කිරීම සහ වන සතුන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා ඉදිරියේදී ද මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. ඒ යටතේ වන අලි නිතර ගැවසෙන අනෙකුත් ප්‍රදේශවලට ප්‍රමුඛත්වය ලබාදීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *