බස් නැවතුම්පොළ අවහිර වන ආකාරයෙන් වාහන නවතා තබන හෝ නවතා යන රියැදුරන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොලිසිය සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී තිබේ.
පොලිසිය සඳහන් කළේ බස් නැවතුම්පොළවල වාහන නවතා තැබීම හේතුවෙන් බස් රථවලට මාර්ගයේම නතර වීමට සිදුවීමෙන් රථවාහන තදබදයක් ඇතිවන අතර, මගීන් බස් රථවලට ගොඩවීමේදී සහ බැසීමේදී ආරක්ෂාවටද අවදානම් මතුවන බවයි.
විශේෂයෙන් රෝද පුටු භාවිත කරන පුද්ගලයන්ට පහසුකම් සලසන බස් සේවා හඳුන්වාදීමත් සමඟ මෙම තත්ත්වය වඩාත් වැදගත් වී ඇති බව පොලිසිය පෙන්වා දී තිබේ. බස් නැවතුම්පොළ අවහිරවීම හේතුවෙන් ආබාධ සහිත පුද්ගලයන් ඇතුළු මගීන් අනතුරුදායක තත්ත්වයන්ට පත්විය හැකි බවද පොලිසිය සඳහන් කරයි.
විශේෂ රජයේ ගැසට් නිවේදනයක් යටතේ බස් නැවතුම්පොළක සිට මීටර් 30ක් ඇතුළත සහ එහි පිටවීමේ ස්ථානයේ සිට මීටර් 15ක් ඇතුළත වාහන නැවැත්වීම තහනම් කර තිබේ.
බස් නැවතුම්පොළ සඳහා වෙනම බස් මංතීරුවක් (Bus Bay) සකසා ඇති ස්ථානවල බස් නැවතුමේ සිට මීටර් 15ක් ඇතුළත සහ එහි පිටවීමේ ස්ථානයේ සිට මීටර් 10ක් ඇතුළත වාහන නැවැත්වීම තහනම් වේ.
මෙම නීති උල්ලංඝනය කරන රියැදුරන්ට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී ඇති බව පොලිසිය සඳහන් කළේය.
නියමිත ස්ථානවලදී බස් රථවලට ආරක්ෂිතව නතර වීමට අවස්ථාව ලබාදීම, මගී ආරක්ෂාව වැඩිදියුණු කිරීම සහ අනවශ්‍ය රථවාහන තදබදය අවම කිරීම මෙම පියවරවල අරමුණයි.


