සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති වශයෙන් වැඩවාසය කරන ලද අතිපූජ්‍ය මුංහේනේ මෙත්තාරාම හිමියන් අපවත් වීමෙන් අනතුරුව චිරාගත සම්ප්‍රදායානුකූලව සහ සේරුවිල මංගල රාජමහා විහාරය අයත් ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ ශ්‍රී කල්‍යාණවංශ පාර්ශ්වයේ ව්‍යවස්ථාවෙහි ඇති ප්‍රතිපාදන ප්‍රකාරව අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේ විසින් සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ලෙස පූජ්‍ය අළුදෙනියේ සුබෝධි ස්වාමින් වහන්සේව පත් කරන ලද අතර එම පත්කිරීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත දැනුම්දෙන ලදී. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් එම දැනුම් දීම මත සේරවිල මංගල රාජමහා විහාරයේ විහාරාධිපති වශයෙන් පූජ්‍ය අළුදෙනියේ සුබෝධි ස්වාමීන් වහන්සේ පිළිගෙන ඒ අනුව අදාළ ලියාපදිංචි කිරීම සිදු කොට තිබේ.
කරුණු එසේ තිබියදී එකී පත් කිරීම පිළිගැනීම අභියෝගයට ලක් කරමින් පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් විසින් පූජ්‍ය අළුදෙනියේ සුබෝධි හිමියන්, ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ කල්‍යාණවංශ පාර්ශ්වයේ මහනාහිමියන් සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වගඋත්තරකරුවන් කරමින් උන්වහන්සේලාට සහ කොමසාරිස් ජනරාල්වරයාට එරෙහිව අභියාචනාධිකරණය ඉදිරියේ අංක CA Writ 731/2025 නඩුව පවරන ලදී. උන්වහන්සේ එම නඩුව පවරමින් අනෙකුත් සහන අතර සේරුවිල මංගල රාජමහා විහාරයේ විහාරාධිපති වශයෙන් පූජ්‍ය අළුදෙනියේ සුබෝධි ස්වාමීන් වහන්සේ පිළිගනිමින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද ලිපිය අවලංගු කරමින් ශර්ෂියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඇයැද සිටින ලදී. එයට එරෙහිව වගඋත්තරකරුවන් විසින් විරෝධතා ගොනුකරන ලද අතර පූජ්‍ය අලුදෙණියේ සුබෝධි හිමියන් විහාරාධිපති ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් සවිස්තරාත්මකව කරුණු ඉදිරිපත් කරන ලදී. එම කරුණුවලට වැඩිමනත් වශයෙන් දෙපාර්ශවයේම ජනාධිපති නීතීඥවරු විවෘත අධිකරණයේ දී දීර්ඝ වශයෙන් කරුණු දැක්වූහ. ඉන් අනතුරුව ගරු අභියාචනාධිකරණය විසින් 2025.12.17 දින දරණ නියෝගය ලබා දෙමින්, අතිපූජ්‍ය මහනාහිමියන් විසින් පූජ්‍ය අළුදෙනියේ සුබෝධි හිමියන් සේරුවිල මංගල රජමහා විහාරාධිපති වශයෙන් සිදුකරන ලද පත්කිරීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් පිළිගැනීම අභියෝගයට ලක්කිරීමට පූජ්‍ය කොටපොළ අමරකිත්ති හිමියන්ට නීත්‍යානුකූල අයිතිවාසිකමක් නොමැති බවට තීරණය කරන ලදී. ඒ අනුව අභියාචනාධිකරණය සිය නියෝගය මඟින් පෙත්සම්කාර පූජ්‍ය කොටපොල අමරකිත්ති ස්වාමීන් වහන්සේගේ එම පෙත්සම එළිපත්තේ දී ම නිෂ්ප්‍රභ කර ප්‍රතික්ෂේප කරන ලදි. එමඟින් සේරුවිල මංගල රාජමහා විහාරයේ විහාරාධිපති වශයෙන් පූජ්‍ය අලුදෙණියේ සුබෝධි හිමියන්ගේ පත්වීම තවදුරටත් සනාථ වී තිබේ.
මෙම නඩුවේ පෙත්සම්කරු වෙනුවෙන් කොන්ටිනෙන්ටල් ලෝ ඇසෝසියේට්ස් නීතිඥවරුන්ගේ උපදෙස් මත නීතීඥ චින්තක ප්‍රනාන්දු සහ නීතීඥ ප්‍රවීන් විජයසේකර සමඟ ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා ද පළවන වගඋත්තරකරු වෙනුවෙන් නීතිඥ අතුල ද සිල්වා මහතාගේ උපදෙස් මත නීතිඥ රුක්ෂාන් සේනාධීර මහතා සමඟ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ද දෙවන වගඋත්තරකරු වෙනුවෙන් නීතිඥ නිමල් රාජපක්ෂ මහත්මාගේ උපදෙස් මත නීතිඥ සංජීව දසනායක මහතා සමඟ ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ද ඇතුළත් වීමට ඉල්ලා සිටි පාර්ශවය වෙනුවෙන් නීතිඥ එම්. ජේ. එස්. ෆොන්සේකා මහතාගේ උපදෙස් මත නීතීඥ සංජය ද සොයිසා මහතා සමඟ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා ද නීතිපතිතුමා වෙනුවෙන් ජනාධිපති නීතිඥ විකුම් ද ආබෘෘ මහතා ද පෙනී සිටින ලදී.


