සමාජ ජාලවල බිඳවැටීමෙන් මාක් ට සිදුවූ අලාභය

ෆේස්බුක් සමාගමට අයත් ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය තුනෙහි ඇතිවූ හදිසි බිඳවැටීම මත ඒවාට පිවිසීම පැය 6ක කාලයක් අවහිර වී තිබුණි.

මෙම බිඳවැටීමත් සමග ෆේස්බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග්ගේ ශුද්ධ වත්කමට අමෙරිකානු ඩොලර් බිලියන 7ක පාඩුවක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ සමග බ්ලූම්බර්ග් දර්ශකයට අනුව ඔහු ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ පස්වැනි ස්ථානය දක්වා පහළ බැස තිබේ.

ෆේස්බුක් හි කොටස් මිල 5%කින් පහළ වැටීම ඊට හේතුවී තිබුණි.

බ්ලූම්බර්ග් දර්ශකයට අනුව සැප්තැම්බර් මැද භාගය වනවිට සකර්බර්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 192ක් වූ අතර එය මේ වනවිට ඩොලර් බිලියන 120.9ක් දක්වා පහත වැටී තිබේ.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ රාත්‍රි 9.30 පමණ සිට ෆේස්බුක් සමාගමට අයත් ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය තුනට පිවිසීම අවහිර වී තිබුණි.

ඒ අනුව එම සමාජ මාධ්‍ය පරිශීලනය කළ පුද්ගලයින් රැසක් සහ එම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ක්‍රියාත්මක වූ ව්‍යාපාර දැඩි අසීරුතාවයට පත් වුණි.

එහිදී සමාජ මාධ්‍ය බිඳවැටීම සම්බන්ධයෙන් ලොව පුරා රටවලින් පැමිණිලි මිලියන 10කට වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් වී තිබූ බවද සඳහන්ය.

මේ සම්බන්ධයෙන් නිරීක්ෂණයන් සිදුකළ ඩවුන්ඩිටෙක්ටර් වෙබ් අඩවිය පැවසුවේ, ඔවුන් අත්දුටු විශාලතම සමාජ මාධ්‍ය බිඳවැටීම මෙය බවය.

මෙවැනි පරිමාණයෙන් සහ දිගු කාලීනව සමාජ මාධ්‍ය බිඳවැටීම දුර්ලභ සිදුවීමකි.

කෙසේවෙතත් මෙරට වේලාවෙන් අද අලුයම 3.30 පමණ වනවිට ෆේස්බුක් සමාගමට අයත් ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය තුන වෙත පිවිසීමට පරිශීලකයින්ට යළි හැකියාව ලැබී තිබුණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *