Monday, 9 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

පළාත් 3කට සහ දිස්ත්‍රික්ක 3කට ප්‍රබල අකුණු සහ ජලගැලීම් අවදානමක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100ක පමණ තද වැසි, ප්‍රබල අකුණු සහ තද සුළං ඇතිවිය හැකි බවට අනතුරු අඟවමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ‘ඇම්බර්’ (Amber) මට්ටමේ කාලගුණ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී විටින් විට ප්‍රබල අකුණු සහිත ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

මීට අමතරව මන්නාරමේ සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු තීරයේ ගිගුරුම් සහිත වැසි ඇතිවන විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා වන තාවකාලික තද සුළං සහ මුහුද ඉතා රළු වීමේ අවදානමක් පවතින බවටද ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු අඟවා ඇත.

ගංවතුර, නායයෑම් සහ යටිතල පහසුකම් බිඳවැටීම්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පහත්බිම් රැසක් ජලයෙන් යටවීම, මාර්ග ප්‍රවාහනය, විදුලිබල හා සන්නිවේදන සේවාවන්ට බාධා එල්ල වීම සහ යටිතල පහසුකම්වලට හානි සිදුවිය හැකි බව බලධාරීහු පෙන්වා දෙති.

එමෙන්ම කඳුකර බෑවුම් සහිත අවදානම් ප්‍රදේශවල නායයෑම්, ගල් පෙරළීම් සහ පස්කඳු කඩාවැටීම් සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මහජනතාවට ආරක්ෂක උපදෙස්

අකුණු සහ ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී එළිමහනේ රැඳී සිටීමෙන් වළකින ලෙසත්, ආරක්ෂිත ගොඩනැගිලි තුළ රැඳී සිටින ලෙසත්, විවෘත ජලාශ සහ ජලාශ්‍රිත ප්‍රදේශවලින් ඈත්ව සිටින ලෙසත් මහජනතාවට උපදෙස් දෙනු ලැබේ.

විශේෂයෙන්ම ගංවතුර සහ නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල වෙසෙන ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, ආපදා කළමනාකරණ අංශ නිකුත් කරන නිල උපදෙස් පිළිපදින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.

ඔබේ අදහස