සමස්ත ආසාදිතයින් ගණන 180,000 ඉක්මවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 788 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,827ක් වේ.

ඒ අනුව මේ දක්වා මෙරට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 180,538ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,029 සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 148,391ක් විය.

මේ අතර බස්නාහිර පළාතේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් 341 දෙනෙකුටද මේ වනවිට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තහවුරු කළේය.

මේ අතර මෙරට තුළ කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වූ 2020 මාර්තු 11 දින සිට ඊයේ දක්වා කොවිඩ් ආසාදිත මරණ 1,363ක් වාර්තා වී තිබේ.

ඉන් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 1 සිට 9 දක්වා වයස් සීමාවේය.

අවුරුදු 10 සිට 30 දක්වා වූ වයස් සීමාවේ කොවිඩ් මරණ 16 ක් වාර්තා වී තිබේ.

31 සිට 40 දක්වා වූ වයස් සීමාවේ කොවිඩ් මරණ 37 ක්ද, 41 – 50 අතර වයස් සීමාවේ මරණ 103ක්ද මේ දක්වා වාර්තා වී ඇත.

කොවිඩ් මරණ 198ක් වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 51 – 60 අතර වයස් සීමාවේය.

වයස අවුරුදු 61 ට වැඩි පුද්ගල මරණ 1,007ක් මේ දක්වා මෙරටින් වාර්තා වී තිබේ.

එය ප්‍රතිශතයක් වශයෙන් ගත්කළ 73.88 කි.

ඒ අනුව, කොවිඩ් ආසාදනයෙන් වැඩිම අවදානමක් ඇත්තේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් බව එම මරණ ප්‍රතිශතවලින් පෙන්නුම් කරන අතර ඒ අනුව එන්නත්කරණයේ ප්‍රමුඛතාව දිය යුත්තේ වයස්ගත පුද්ගලයින්ට බව ඉතාම පැහැදිලිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *