Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

විපක්ෂ නායකගේ අනුග්‍රහයෙන් කාවන්තිස්ස ඇතා වෙනුවෙන් ආගමික වැඩසටහනක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

මීට මාසයකට පෙර මියගිය කාවන්තිස්ස ඇතා සිහිපත් කරමින් පින් අනුමෝදන් කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අනුග්‍රහයෙන් සහ සහභාගීත්වයෙන් ගල්ගමුවේදී දෙදින ආගමික වැඩසටහනක් සංවිධානය කර තිබේ.

විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේ, නොවැම්බර් 16 සහ 17 යන දෙදින තුළ ගල්ගමුව බුදුරුවකන්ද රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙන මෙම වැඩසටහන, ආසියාවේ උසම ඇතා ලෙස සැලකුණු සහ දෙස් විදෙස් අවධානය දිනාගත් කාවන්තිස්ස ඇතාට උපහාර පිණිස සංවිධානය කර ඇති බවයි.

එම වැඩසටහනේ කොටසක් ලෙස සඳුදා (නොවැම්බර් 16) පස්වරු 7.00 ට විශේෂ ධර්ම දේශනාවක් පැවැත්වුණු අතර, එය මහාවිහාර වංශික ස්‍යාමෝපාලි වනවාස මහා නිකායේ කුරුණෑගල මහා දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය රාජාංගණයේ සුමනසාර හිමියන් විසින් පවත්වන ලදී. කාවන්තිස්ස ඇතා සිහිපත් කරමින් පැවැත්වූ එම ධර්ම දේශනාව සඳහා විශාල පිරිසක් සහභාගී වූහ.

මේ අතර, අනුස්මරණ වැඩසටහන් මාලාවේ කොටසක් ලෙස නොවැම්බර් 17 වැනිදා මහා සංඝරත්නය උදෙසා සාංඝික දානමය පිංකමක් ද සංවිධානය කර ඇත.

බුදුරුවකන්ද රජමහා විහාරාධිපති පූජ්‍ය ශ්‍රී හේරත්ගම උපනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ විහාරාධිකාරී පූජ්‍ය පන්නල අමිතානන්ද හිමියන්ගේ සහභාගීත්වයෙන් මෙම ආගමික වැඩසටහන පැවැත්වේ. වනජීවී ලෝලීන්ගේ සහ මහජනතාවගේ දැඩි අවධානයට හා ශෝකයට හේතු වූ කාවන්තිස්ස ඇතාගේ මරණය සිහිපත් කර ගෞරව දැක්වීම සඳහා මෙම පිංකම් සංවිධානය කර තිබේ.

ඔබේ අදහස