වගා නොකළ ඉඩම් වගා කිරීමට කැමති අයට නිදහස් කරයි

මෙතෙක් වගා නොකළ නමුත් වගා කළ හැකි ඉඩම් වගා කිරීමට කැමති අය සඳහා නිදහස් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.මේ තුළ කිසිසේත්ම ඉඩම් හිමිකම් පැවරීමක් නොවන්නට වග බලාගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.

තමන්ට වුවමනා වගා කළ හැකි භූමියේ හිමිකම එසේම තිබියදී නිෂ්පාදනය පමණක් හැකි අය වෙත පැවරීම පමණක් බවත්, දැනට වතු සමාගම් සතු වතුවල පවා වගා නොකරන බිම් අයිතිය වගා කළ හැකි අය වෙත ලබා දීම සඳහා වන නීති සංශෝධන ගෙන ඒමට රජය කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය. එතුළින් ගම අපනයනාභිමුක නිෂ්පාදන ඒකකයක් කිරිම සඳහා වන ඇරඹුමක් ලබා ගන්නට බලාපොරොත්තු වන බව ද හෙතෙම කීවේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමිකරුවන් නංවාලීම අරමුණු කරගෙන සිදු කරන බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදාදීමේ වැඩසටහනට එක්වෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අග්‍රමාත්‍යවරයා මෙසේ පැවසීය.

“අග්‍රාමාත්‍ය කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වගේම පෞද්ගලික අංශයත් එක්කොට ගත් සාමූහික ප්‍රයත්නයක් තුළ ගමට නිෂ්පාදන අවස්ථා වගේම ආයෝජන අවස්ථා ගෙන ඒම සඳහා වන හැකියාවක් මෙවැනි ව්‍යාපෘතීන් තුළින් අපට ලැබෙනවා.ලෝක ආර්ථිකය දෙස බලන කොට පේනව විටින් විට එය විවිධ කඩා වැටීම්වලට ලක්වෙනවා.

ඒ කඩා වැටීම් වලින් රටක් ගොඩ එන්නට දරන පරිශ්‍රමයේදී ජනතාවට යම් යම් පීඩාවලට ලක් වන්නට සිදු වෙනවා.විශේෂයෙන් ආදායම් මාර්ගවල ගැටලු ඇතිවීම් වෙනවා.ග්‍රීසියට බලපාපු ආර්ථික අර්බුදය තුළ ගත් පළමු ක්‍රියාමාර්ගය තමයි රාජ්‍ය සේවයේ සියයට 40 ක් ඉවත් කරපු එක.

විශ්‍රාමික ජනතාවට ගෙවපු වැටුපෙන් භාගයක් ගෙවිමට රජය කටයුතු කළා.නවසීලන්තයත් මේ වගේම ආර්ථික අර්බුදයක් වෙලාවේ රටේ විදේශ සේවාවේ විශාල කප්පාදු කිරීමක් සිදු කළා.මේ යෝජනාවම ජාත්‍යන්තරය අපෙන් කරද්දිත් අපි ඒ යෝජනා ප්‍රතික්ෂේප කළේ රාජ්‍ය සේවකයාගේ අයිතීන් දිනා දීම වෙනුවෙන්.

දැන් මේ අපි දියත් කරන ව්‍යාපෘතිය තුළ අපි අපේක්ෂා කරන්නේ ග්‍රාමීය පෝෂණය හා නිෂ්පාදනය වැඩි කිරීම.අපට මතකයි බණ්ඩාරනායක මැතිනියගේ රජය එදා වතු සමාගම් සතු ඉඩම් සහ පෞද්ගලික අතිරික්ත ඉඩම් ජනසතු කරමින් ඒවා ජනතාවගේ සංවර්ධනය සඳහා යෙදමීට අවශ්‍ය වැඩකටයුතු සිද්ධ කළා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *