ලංකාවේ කළු සල්ලි බැඳුම්කරවල ආයෝජනය කර ඇති බවට සැකයක්

ජනපතිවරණය අවසන් වන තෙක් ණය ප්‍රතිව්‍යුහකරණයේ දී ආණ්ඩුව කල් මරන බවට සාධාරණ සැකයක් ඇතිවන බවත්   ආණ්ඩුවේ මේ කල් මැරීම නිසා මූල්‍ය අරමුදලේ මී ලඟ වාරිකය මෙරටට අහිමි වීමේ අවදානමක් ද මතු වී ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ  පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

“ආණ්ඩුව මේ වන විට පාර්ශව තුනක් සමග ණය ප්‍රතිව්‍යුහකරණය පිළිබඳ සාකච්ඡා කරමින් ඉන්නවා.  ඒ චීනය හැර ණය දුන් රාජ්‍යයන්ගෙන් සමන්විත නිල ණයහිමි කමිටුව, චීනය සහ බැඳුම්කර හිමියන්.  චීනය සහ නිල ණයහිමි කමිටුව සමග එකඟතාවයන්ට එළැඹෙන්න ආණ්ඩුව සමත් වුණත් බැඳුම්කර හිමියන් සමග පැවැත්වූ සියළුම සාකච්ඡා අසාර්ථකයි.  බැඳුම්කර හිමියන් ඉදිරිපත් කරපු ණය ප්‍රතිව්‍යුහකරණ සැලැස්ම ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා.

ඩොලර් බිලියන දොලහාමාරක් බැඳුම්කර ආයෝජනය කරලා එකින් එක නොගෙවා තිබිය දී මේ අයගේ පපුව ගිනි අරන්. 2022 ගෙවන්න තිබුණු ඩොලර් බැඳුම්කර වල එක ශතයක් තවම ගෙවා නෑ.  තමන්ගේ මුදල් ගෙවන්නේ නැතිව හිර වෙලා තිබුණාම එතැන ආවස්ථික පරිවැයක් තිබෙන නිසා බැඳුම්කර හිමියෝ ප්‍රමාද පොලියක් බලාපොරොත්තු වෙනවා.  2023 දෙසැම්බර් 31 දිනට ප්‍රමාද පොලිය විතරක් ඩොලර් මිලියන 1,678ක් එකතු වෙලා තිබෙනවා.  මේක දිනපතා ඉහළ යනවා.

බංකොලොත් බව ප්‍රකාශ කරලා දැන් අවුරුදු දෙකකට වැඩියි.  තවමත් ණය ප්‍රතිව්‍යුහකරණය අවසන් කරන්න ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා.  කෝවිඩ් වසංගතයත් එක්ක ලෝකයේ බංකොලොත් වුණු රාජ්‍ය ගණනාවක් තිබෙනවා.  ඊජිප්තුව, ඉතියෝපියාව, ඝානා, කෙන්යාව, ලෙබනනය, පකිස්තානය, ටියුනීසියාව, යුක්රේනය සහ සැම්බියාව ඒ අතරේ තිබෙනවා.  මේ රටවල් අවුරුදු දෙකක් සාකච්ඡා කරමින් හිටියේ නෑ.

ණය ප්‍රතිව්‍යුහකරණය අවසන් වුණු වහාම තම මුදල් ගෙවීම සුළුවෙන් හෝ අරඹාවි කියා බැඳුම්කර හිමියන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ජනපතිවරණය අවසන් වන තෙක් ණය ප්‍රතිව්‍යුහකරණයේ දී ආණ්ඩුව කල් මරනවාය කියන සාධාරණ සැකය අපට ඇති වෙලා තිබෙනවා.  ආණ්ඩුවේ මේ කල් මැරීම නිසා මූල්‍ය අරමුදලේ මී ලඟ වාරිකය අහිමි වීමේ අවදානමක් දැන් මතු වී තිබෙනවා.”

ලංකාවේ පසුගිය සමයේ සිදුවුණු බැඳුම්කර වංචාව වගේ ඩීල් වලින් උපයා ගත් කළු සල්ලි බැඳුම්කර වල ආයෝජනය කර තිබෙන බවට සමාජය තුල ප්‍රබල විශ්වාසයක් තිබෙනවා.  එහෙම නම් බැඳුම්කර හිමියන් සහ ආණ්ඩුව අතර සාකච්ඡා කියන්නේ එකම පිල දෙපිල බෙදී කරන සාකච්ඡාවක්.  අවසානයේ දී ගෙවන්නේ අපේ දුප්පත් ජනතාව විදෙස් රටවල දුක් විඳලා උපයන ඩොලර්.  ඒ නිසා බැඳුම්කර හිමියන් සමග ගිවිසුමක් අත්සන් කිරීමට පෙර ඒ ගිවිසුමේ අන්තර්ගතය ආණ්ඩුව විසින් ප්‍රසිද්ධ කළ යුතුයි.  මේක ඩීල්ලන්තයනෙ.  ඒ නිසා ඕනෑම දෙයක් වෙන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *