බොරලැස්ගමුව ප්රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන 29 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
හෝමාගම අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම සැකකරු ඊයේ (ඔක්තෝබර් 9) අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටාව පොලිස් වසමේ මාකුඹුර නිදහස් මාවතට පිවිසෙන හන්දිය ආසන්නයේදීය. ඒ වන විට ඔහු යතුරුපැදියකින් ගමන් කරමින් සිටි බව පොලිසිය සඳහන් කළේය.
2026 සැප්තැම්බර් 4 වැනිදා බොරලැස්ගමුව පොලිස් වසමේ මාලනී බුලත්සිංහල මාවතේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම, ගොඩගම ප්රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.


