රුපියල් කෝටි 5කට අධික හෂීෂ් රැගෙන ආ තායි ජාතිකයන් තිදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 51ක් පමණ වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් රහසිගතව රැගෙන ඒමට උත්සාහ කළ බවට සැකපිට තායි ජාතිකයන් තිදෙනකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

15 අලුයම ගුවන්තොටුපොළෙන් පිටව යාමට උත්සාහ කරමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අවුරුදු 22, 22 සහ 33 යන වයස්වල පසුවන අතර, ඔවුන් තායිලන්තයේ රියැදුරන් ලෙස සේවය කරන බව වාර්තා වේ.

වාර්තා වන පරිදි, ඔවුන් තිදෙනා අද අලුයම 12.30ට පමණ තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි එයාර්වේස් ගුවන් සේවයට අයත් TG-307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළට පැමිණ තිබේ.

ඔවුන්ගේ ගමන් මලු තුන පරීක්ෂා කිරීමේදී, රූපලාවණ්‍ය නිෂ්පාදන අඩංගු බහාලුම් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5.96ක් සොයාගෙන ඇත.

සැකකරුවන් තිදෙනා සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය  මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *