රිටි පැනීමේ ශූරී සචිනි ඩුබායි වෙත යාම ගැන වගකීමක් අපට නෑ – ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය

රිටි පැනීමේ කාන්තා ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන සචිනි කුශල්‍යා පෙරේරා රට හැර ගොස් මැදපෙරදිග ගෘහ සේවිකාවක් ලෙස සේවය කරන්නේ මලල ක්‍රීඩා පරිපාලනයේ කිසිදු අඩුවක් හෝ වරදක් නිසා නොවන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා (SLA) ප්‍රධාන ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා පවසයි.

ජාතික මලල ක්‍රීඩිකා සචිනි පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බළකායට අනුයුක්තව සිටි අතර ඇය 2014 ග්ලාස්ගෝ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් ද විය.

2018 වසරේ සිට ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඉවත්ව මලල ක්‍රීඩාවට සම්බන්ධ වූ ඇය අවස්ථා කිහිපයකදී රිටි පැනීමේ කාන්තා ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත් වූවාය.

සචිනි පෙරේරා අවසන් වරට එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කළේ 2022 වසරේ මීටර් 3.71ක් දක්වමිනි.

ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගි වී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදීම තම එකම අරමුණ වූ නමුත් කිසිදු ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි වීමට අවස්ථාවක් නොලැබුණු බව ඇය ඩුබායි මාධ්‍ය හමුවේ අදහස් දක්වා තිබුණා.

රෝගාතුරව සිටින තම මව සහ පවුල රැක බලා ගැනීම සඳහා ක්‍රීඩාව අකමැත්තෙන් හෝ අතහැර මැදපෙරදිග ගෘහ සේවිකාවක් ලෙසට පැමිණීමට සිදුවූ බව ඇය වැඩිදුරටත් පවසා තිබුණා.

සචිනි පෙරේරා ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ කළ චෝදනාවට අදාළව ඔහු මෙසේ පැවසීය.

“මලල ක්‍රීඩා පරිපාලිකාවන් ලෙස ඇය වෙනුවෙන් අපට කළ හැකි දෙයක් නැහැ.ප්‍රධානතම හේතුව තමයි ඇය නියෝජනය කරන ඉසව්වේදී (පිටි පැනීමේ කාන්තා) ජාත්‍යන්තර තරගයක් ශ්‍රී ලංකාවට නොතිබීම.

“ඒ ඉසව්ව 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලටවත් අයිති වුණේ නැහැ.ඒ වගේම ආසියානු ක්‍රීඩා උළෙල හෝ ආසියානු මලල ක්‍රීඩා ශූරතා රිටි පැනීමේ කාන්තා ප්‍රමිතිය ඉහළ මට්ටමක තිබෙනවා.

“උදාහරණයක් ලෙස, 2023 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ පසුගියදා තායිලන්තයේ දී නිමාවට පත් වූ අතර, රිටි පැනීමේ කාන්තා ඉසව්ව රන් පදක්කම්ලාභී (මීටර් 4.66), රිදී පදක්කම්ලාභී (මීටර් 4.51) සහ ලෝකඩ පදක්කම්ලාභී (මීටර් 4.10) ලෙස අවසන් විය.

ඒ වගේම ආසියානු ක්‍රීඩා උළෙලට හෝ ආසියානු ශූරතාවලියට ශ්‍රී ලංකාවට ලැබෙන කෝටාව ඉතා අඩුයි.

එබැවින් මලල ක්‍රීඩා තේරීම් කමිටුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගන්නේ ඔවුන්ට පදක්කම් දිනාගත හැකි ඉසව් ඉලක්ක කරගනිමිනි. අපගේ මලල ක්‍රීඩා ඉතිහාසයට අනුව වෙඩි තැබීම, කවපෙත්ත විසි කිරීම, මිටිය විසි කිරීම, රිටි පැනීම ඉසව් සඳහා ජාත්‍යන්තර තරග සහභාගීත්වය ඉතා අඩු මට්ටමක පවතී.

සචිනි පෙරේරා වසර කිහිපයක සිට ශ්‍රී ලංකා වාර්තාව බිඳ දමමින් සිටින නමුත් ඇයගේ හොඳම දක්ෂතාව මීටර් 3.71 කි.

දේශීය වශයෙන් සචිනිගේ දක්ෂතා අපි අගය කරනවා, නමුත් ජාත්‍යන්තර වශයෙන් පදක්කමක් දිනන්න තියෙන දක්ෂතාව තවමත් ප්‍රමාණවත් නැහැ,” සමන් කුමාර ගුණවර්ධන පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *