රුපියල් මිලියන 70ක් වටිනා ඉතිහාසයේ විශාලතම ‘මැජික් මෂ්රූම්’ තොගය රේගු භාරයට

ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් කෝටි 7කට අධික වටිනාකමකින් යුත් ඉතිහාසයේ විශාලතම ‘මැජික් මෂ්රූම්’ තොගය සහ තවත් මත්ද්‍රව්‍ය තොගයක් සීදූව ප්‍රදේශයේ කුරියර් සේවාවකින් අද අත්අඩංගුවට ගෙන ඇත. මෙම පාර්සල් එවා තිබුණේ ඇමරිකාවෙන් සහ නෙදර්ලන්තයෙන්ය.

රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සති කිහිපයකට පෙර ඇමරිකාවේ සහ නෙදර්ලන්තයේ සිට පැමිණි පාර්සල් 9ක් රඳවා තබා ගන්නා ලෙසට කළ නියෝගයකට අනුව පරීක්ෂණ ආරම්භ කර ඇත.

එම පාර්සල් කොළඹ, මහරගම සහ පිළියන්දල යන ප්‍රදේශවල ව්‍යාජ ලිපිනවලට යොමු කර ඇති බව දැනගත් නිලධාරීන් ඒවා විවෘත කර පරීක්ෂා කිරීමට තීරණය කළ බව රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

එම පාර්සල් නවයේ තිබී ගංජා වර්ගයේ කුෂ් කිලෝ 4ක්, මැජික් මෂ්රූම් ග්‍රෑම් 300ක්, එක්ස්ටසි (එම්ඩීඑම්ඒ) පෙති 2,000ක් සහ මත් චොක්ලට් කිහිපයක් ඔවුන් සතුව තිබී ඇත.

Psilocybin හතු, සාමාන්‍යයෙන් Magic Mushrooms ලෙස හඳුන්වනු ලබන අතර, එය ආහාරයට ගැනීමෙන් psilocin බවට හැරෙන psilocybin අඩංගු බහුඅධික අවිධිමත් දිලීර සමූහයකි. ඒවා විනෝදාත්මක ඖෂධ ලෙසද භාවිතා වේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා පැවසුවේ, මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට (PNB) භාර දුන් බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *