රට පුරා හර්තාල්…

අද (20 දා) සිට ලබන 28 දා දක්වා සතියක කාලයක් පුරාවට දීපව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට ‘වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව’ තීරණය කර ඇත.

ඒ අනුව අද (20 දා) සිට ලබන 28 දා දක්වා දිවයින පුරා සියලු නගර ආවරණය වන පරිදි ජනතාව එක්රැස් කරමින් රජය ගෙනයන ජනතා විරෝධී වැඩපිළිවෙළට එරෙහිව විරෝධතාවේ නිරත වීමට වාත්තීය සමිති 300කට වැඩි දායකත්වයෙන් යුත් සිය සංවිධාන එකමුතුව තීරණය කර ඇතැයි රවි කුමුදේශ් මහතා සඳහන් කළේය.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයට අයත් සියලු ක්ෂේත්‍ර නියෝජනය කරන තම වෘත්තීය සමිති එකමුතුව අද අරඹන හර්තාල් ව්‍යාපාරයෙන් අනතුරුව ලබන 28 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමට ද තීරණය කර ඇතැයි හෙතෙම පැවසීය.

අද ජාතික විරෝධතා දිනයක් ලෙස සලකා ක්‍රියා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි රවි කුමුදේශ් මහතා රජය ජනමතයට ගරු කරමින් තීරණ ගන්නා තෙක් සිය වෘත්තීය සමිති එකමුතුව අඛණ්ඩව විරෝධතා ඉදිරියට ගෙනයන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුව විසින් සංවිධානය කර ඇති මෙම හර්තාල් ව්‍යාපාරය සහ දීපව්‍යාප්ත ජාතික කළු විරෝධතා පිකට් උද්ඝෝෂණ මාලාව දිවයිනේ සියලු ප්‍රධාන නගර මූලික කර ගනිමින් අද (20 දා) සිට අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *