යෝජිත රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත මගින් මූලික අයිතිවාසිකම්, අධිකරණ ස්වාධීනත්වය සහ ප්රජාතන්ත්රවාදී නිදහසට හානි සිදුවිය හැකි බවට ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්රී ලංකා (TISL) ආයතනය බරපතළ කනස්සල්ල පළ කර තිබේ.
දැනට ක්රියාත්මක ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට හඳුන්වා දීමට යෝජිත මෙම පනත් කෙටුම්පත 2026 සැප්තැම්බර් 22 වැනිදා ගැසට් කර තිබේ. ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයකින් TISL ආයතනය සිය විරෝධතා සහ කනස්සල්ල පළ කර ඇත.
ත්රස්තවාදය පිළිබඳ පුළුල් අර්ථ දැක්වීම, විධායකයේ බලතල පුළුල් කිරීම, පරිපාලනමය රඳවා තබා ගැනීමේ විධිවිධාන සහ මූලික නිදහස සීමා කිරීමේ ප්රතිපාදන සම්බන්ධයෙන් එම ආයතනය විශේෂ අවධානය යොමු කර තිබේ.
යෝජිත පනත් කෙටුම්පතේ ත්රස්තවාදය පිළිබඳ අර්ථ දැක්වීමට දේපළ, පරිසරය, සංස්කෘතික දේපළ සහ ඉලෙක්ට්රොනික පද්ධතිවලට හානි කිරීම ඇතුළු පුළුල් පරාසයක ක්රියාකාරකම් ඇතුළත් වන බව TISL පෙන්වා දෙයි. මේ හේතුවෙන් සාමාන්ය අපරාධ නීතිය යටතේ විසඳිය යුතු වැරදි පවා ත්රස්තවාදය සම්බන්ධ නීති යටතට ගැනීමේ අවදානමක් පවතින බව එම ආයතනය අනතුරු අඟවයි.
මෙවැනි පුළුල් අර්ථ දැක්වීම් හේතුවෙන් අදහස් ප්රකාශ කිරීමේ නිදහස, සංවිධානගත වීමේ නිදහස සහ නීත්යනුකූල පුරවැසි ක්රියාකාරකම් අසමානුපාතික ලෙස සීමා විය හැකි බව ද TISL පෙන්වා දී තිබේ.
තවද, සන්නද්ධ හමුදාවන්ට සහ වෙරළාරක්ෂක බලකායට අත්අඩංගුවට ගැනීම, සෝදිසි කිරීම, භාණ්ඩ හෝ දේපළ අත්පත් කර ගැනීම සහ ප්රශ්න කිරීම සම්බන්ධයෙන් පුළුල් බලතල ලබාදීමට යෝජනා කර තිබීම පිළිබඳව ද එම ආයතනය කනස්සල්ල පළ කර ඇත. ප්රමාණවත් ආරක්ෂණ විධිවිධාන නොමැති වීමෙන් වගවීමේ හිඩැස් ඇති විය හැකි අතර, අත්තනෝමතික ක්රියාමාර්ග ගැනීමේ අවදානම ද ඉහළ යා හැකි බව එහි අදහසයි.
රඳවා තබා ගැනීම සම්බන්ධ විධිවිධාන පිළිබඳව අදහස් දක්වමින් TISL සඳහන් කරන්නේ, පනත් කෙටුම්පත මගින් ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයාට මුල් අවස්ථාවේදී මාස දෙකක කාලයක් සඳහා රඳවා තබා ගැනීමේ නියෝග නිකුත් කිරීමට බලය ලබාදෙන බවයි. එමෙන්ම, රඳවා තබා ගැනීමේ අවශ්යතාව ස්වාධීනව ඇගයීමට මහේස්ත්රාත්වරයා සතු බලය සීමා වන බව ද එම ආයතනය පෙන්වා දෙයි.
මෙම විධිවිධාන හේතුවෙන් විධායකය සතුව අධික බලතල සංකේන්ද්රණය වීමත්, අධිකරණ අධීක්ෂණය දුර්වල වීමත් සිදුවිය හැකි බවට TISL අනතුරු අඟවයි.
සංවිධාන තහනම් කිරීමට ජනාධිපතිවරයාට බලය ලබාදෙන ප්රතිපාදන සම්බන්ධයෙන් ද එම ආයතනය කනස්සල්ල පළ කර තිබේ. ඒ සඳහා නිශ්චිත කාලසීමා සහ ප්රමාණවත් ආරක්ෂණ විධිවිධාන නොමැති වීමෙන් සංවිධානගත වීමේ නිදහස සහ පුරවැසි ක්රියාකාරකම් අත්තනෝමතික ලෙස සීමා කිරීමේ ඉඩකඩක් ඇති විය හැකි බව එහි සඳහන් වේ.
ජාතික ආරක්ෂාව සම්බන්ධ නීත්යනුකූල ගැටලු විසඳීම රාජ්යයේ වගකීමක් බව පිළිගන්නා අතරම, ත්රස්තවාදයට එරෙහි නීති මගින් මූලික අයිතිවාසිකම්, නිසි නීතිමය ක්රියාපටිපාටිය හෝ අධිකරණ ස්වාධීනත්වය කිසිසේත්ම දුර්වල නොකළ යුතු බව TISL අවධාරණය කරයි.
ඒ අනුව, යෝජිත 2026 රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ඉවත් කර ගන්නා ලෙසත්, දැනට පවතින ත්රස්තවාදය වැළැක්වීමේ පනත තවදුරටත් ප්රමාද නොකර අහෝසි කරන ලෙසත් TISL රජයෙන් ඉල්ලා තිබේ.
එමෙන්ම, ඒ වෙනුවට නව නීති සම්පාදනය කරන්නේ නම් විධායක බලතල සඳහා පැහැදිලි සීමා පැනවීම, ඵලදායී වගවීමේ යාන්ත්රණ ස්ථාපිත කිරීම සහ අත්තනෝමතික රඳවා තබා ගැනීම් මෙන්ම ත්රස්තවාදයට එරෙහි බලතල අවභාවිත කිරීම වැළැක්වීමට ප්රමාණවත් ආරක්ෂණ විධිවිධාන ඇතුළත් කිරීම අත්යවශ්ය බව ද එම ආයතනය අවධාරණය කර ඇත.


