යුද්ධ සමයේ ඉන්දියාවට පලාගිය ශ්‍රී ලාංකිකයන්ට යළි රටට පැමිණීමට කැබිනට් අනුමැතිය

යුද්ධ සමයේ වලංගු ගමන් බලපත්‍ර හෝ වෙනත් නීත්‍යනුකූල සංචාරක ලේඛන නොමැතිව ඉන්දියාවට පලාගොස් පසුව සරණාගතයන් ලෙස ලියාපදිංචි වූ ශ්‍රී ලාංකිකයන්ට ස්වේච්ඡාවෙන් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට පහසුකම් සැලසීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

ඉන්දීය ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) මගින් ශ්‍රී ලාංකිකයන් බව තහවුරු කර ඇති එවැනි පුද්ගලයන් රැසක් මේ වනවිට යළි මව්බිමට පැමිණීමට කැමැත්තෙන් සිටින බව රජය පවසයි.

නීතිපතිවරයාගේ නීති උපදෙස් මත සකස් කළ මෙම ක්‍රමවේදයට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවක් අනුව කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව, 2006 අගෝස්තු 1 වැනිදාට පෙර වලංගු සංචාරක ලේඛන නොමැතිව ඉන්දියාවට පිටත්ව ගිය පුද්ගලයන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ නිෂ්කාශනයක් ලබාගත යුතු අතර, ඔවුන් මිනීමැරුම් හෝ රාජද්‍රෝහී ක්‍රියා වැනි බරපතළ අපරාධ සිදුකර නොමැති බවද තහවුරු කරගැනීමට නියමිතය.

සුදුසුකම් සපුරන පුද්ගලයන්ට තාවකාලික සංචාරක ලේඛන නිකුත් කර අනුමත වරායන් හරහා රටට ඇතුළුවීමට අවසර ලබාදීමට නියමිත අතර, එහිදී 1948 අංක 20 දරන ආගමන හා විගමන පනත යටතේ ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීමටද කටයුතු කෙරේ.

එමෙන්ම 2006 අගෝස්තු 1 සිට 2009 මැයි 19 දක්වා, එනම් යුද්ධය අවසන් වූ දිනය දක්වා, නීති විරෝධී ලෙස ඉන්දියාවට පිටත්ව ගිය පුද්ගලයන්ටද ඔවුන්ගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය තහවුරු කර රාජ්‍ය බුද්ධි සේවා නිෂ්කාශනය ලබාගැනීමෙන් අනතුරුව රටට ඇතුළුවීමට අවසර ලබාදීමට නියමිතය.

කෙසේ වෙතත්, බරපතළ අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්ව ඇති පුද්ගලයන් හඳුනාගතහොත්, ඔවුන් රටට ඇතුළුවන ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන අදාළ බලධාරීන් වෙත යොමු කර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව රජය සඳහන් කරයි.

මානුෂීය කරුණු සැලකිල්ලට ගනිමින් යළි පැමිණෙන සරණාගතයන්ට සමාජයට නැවත ඒකාබද්ධ වීමට අවස්ථාව සලසන අතරම, රටේ ජාතික ආරක්ෂාව සහ නීතිමය රාමුව ආරක්ෂා කිරීම මෙම ක්‍රමවේදයේ අරමුණ බව රජය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *