මුදල් අච්චු ගැසීමක් සිදුකර නෑ – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

ආණ්ඩුව විසින් කිසිසේත්ම මුදල් අච්චු ගැසීමක් සිදුකර නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පැවසීය.

ඒ අනුව, ට්‍රිලියන 1.2ක මුදලක් වත්මන් ආණ්ඩුව යටතේ මුදල් අච්චු ගසා ඇති බව යම් සංවිධානයක් විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශය හිතාමතා හෝ නොදැනුවත්භාවය නිසා සිදුකරන ලද ප්‍රකාශ බවත් අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

දැන් පවතින තත්ත්වය අනුව, ආණ්ඩුවට මුදල් අච්චු ගැසීමට හැකියාවක් නොමැති බවත්, නීතිමය වශයෙන්ද එයට ඉඩක් නොමැති බවත් ඔහු පැවසීය.

මහ බැංකුව විසින් පාලනය කරන සංචිත මුදල් හරහා මුදල් ප්‍රසාරණය වීම සිදු වී ඇති බවද, එය ආණ්ඩුව විසින් මුදල් නෝට්ටු අච්චු ගැසීමක් නොවන බවද එය සම්පූර්ණයෙන්ම සමාජය නොමඟ යැවීමක් බවද ඔහු ප්‍රකාශ කළේය.

ලංකාවේ මේ වන විට සංචිත මුදල් ට්‍රිලියන 1.6ක් පවතින බවත්, එසේම පුළුල් මුදල් සැපයුම ට්‍රිලියන 15කට ආසන්න වී ඇති නිසා පුළුල් මුදල් සැපයුමේ වර්ධනයක් සිදු වී ඇත්තේ මහ බැංකුවේ මැදිහත්වීම නිසා මිස, ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් නිසා නොවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *