සමාගම්

මහ බැංකුව වැටුප් වැඩි කර ගත්තාට කැබිනට් විරෝධය

වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු කියන ලෙස කැබිනට් මණ්ඩලය මහ බැංකු ප්‍රධානීන්ට දැනුම් දුන්නේය.

මහ බැංකු සේවකයන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාටද නියෝග ලබාදීමේ නීතිමය හැකියාවක් නොමැති හෙයින් ද රටේ මුදල් බලය හිමි වන්නේ පාර්ලිමේන්තුවට හෙයින්ද කැබිනට් මණ්ඩලය මෙම දැනුම්දීම කර තිබේ.

වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් කැබිනට් මණ්ඩලය හමුවට කැඳවා තිබිණි.

මෙලෙස වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය සිය විරෝධයද පළ කර ඇත.

එහිදී මහ බැංකු ප්‍රධානීන් වැටුප් වැඩි කර ගැනීමට බලපෑ හේතු පිළිබඳව කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර ඇති අතර කැබිනට් මණ්ඩලයද රටේ පවතින මූල්‍ය වාතාවරණය හමුවේ වැටුප් වැඩි කර ගැනීම යෝග්‍යදැයි කරුණු විමසා ඇත.

කෙසේ වෙතත් අවසානයේදී කැබිනට් මණ්ඩලය මහා බැංකු ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් හමුවේ සහ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ කරුණු කියන ලෙසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය පස්වරුවේ කොළඹදී රැස්විය.

වැටුප් සියයට හැත්තෑවකින් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකු  ප්‍රධානීන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමට සහ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට අද(5) කැඳවනු ලැබ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *